ජාතික බැඩ්මින්ටන් අතුරුකමිටු සභාපති නිශාන්ත ජයසිංහ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් කමිටුවේ ලේකම්වරයා හා භාණ්ඩාගාරිකවරයා ඉල්ලා අස්වී තිබෙනවා. ජාතික බැඩ්මින්ටන් අතුරුකමිටුව නිශාන්ත ජයසිංහ මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය ජනවාරි 08 පත්කළා. එහි ලේකම් හා භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා හා ක්ලැරන්ස් හෝමර් යන මහත්වරුන් ඉල්ලා අස්වුණේ පෞද්ගලික හේතු දක්වමින්.
එම පුරප්පාඩුව වෙනුවෙන් පසුගිය අප්‍රේල් දොළොස්වනදා මොහාන් විජේසිංහ හා හැළඹගේ වසන්තකුමාර යන මහත්වරුන් පත් කෙරුණා. ඔවුන් දෙදෙනා හේතු 08 ක් දක්වමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය පස්වනදා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත යොමුකර තිබෙනවා. එමගින් පෙන්වාදී ඇත්තේ වත්මන් බැඩ්මින්ටන් අතුරුකමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන නිශාන්ත ජයසිංහ මහතා තමන්ට සේවය කිරීමට අවශ්‍ය සහාය ලබා නොදෙන බවයි.
මේ අතර දූෂණ හා අක්‍රමිකතා රැසක් පසුගිය කාලයේ ජාතික බැඩ්මින්ටන් අතුරු කමිටු පාලනය යටතේ සිදුව ඇතැයි චෝදනා එල්ල වනවා. පසුගිය අප්‍රේල් මස චීනයේ පැවති ආසියා බැඩ්මින්ටන් තරගාවලියට එක් වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා සිදුකළ වියදම් සම්බන්ධයෙන් වාර්තාවක් මෙතෙක් තරගාවලියේ කළමනාකරු බැඩ්මින්ටන් අතුරු කමිටුවට ලබා දී නැහැ. එහි කළමනාකරු ලෙස එක්වූයේ හර්ෂ හියරපිටිය මහතායි. මෙම තරගාවලිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 14ක මුදලක් වියදම් කර තිබෙනවා.