Update: හිටපු ඇමති මහින්දානන්ද රක්‍ෂිත බන්ධනාගාරයට

Update: හිටපු ඇමති මහින්දානන්ද රක්‍ෂිත බන්ධනාගාරයට

30
0

රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් පන්කෝටි තිස්එක් ලක්‍ෂයකට අධික මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළවයි ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අද අත්අඩංගුවට ගත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඒ මහතා අද පෙරවරුවේ කැදවා තිබුණා. දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් තිස්පන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. එහෙත් අද පස්වරුවේ ඒ මහතාට ඇප නියම වුණත් ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කළ ඇප කොන්දේසියක් කඩ කිරීම හේතුවෙන් ඒ මහතා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී මෙසේ මුදල් අවභාවිත කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී කැරම් බෝඩ් දාහතර දහසක් සහ දාම්බෝඩ් එකොළොස් දහසක් මිලදී ගැනීමේදී මුදල් අවභාවිතය සිදු වී ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබුණා. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ අයදුම්පත ද මීට පෙර ප්‍රතික්ෂේපකර තිබුණා. මෙම නියෝගයට එරෙහිව අලුත්ගමගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි.

අද පෙරවරුවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා. එහිදී ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා. අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ. රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් 2014 වසරේ දී කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වුණා. සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතිකේෂ්ප කෙරුණා. මෙම නියෝගයට එරෙහිව අලුත්ගමගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY