පසුගිය 12 වනදා සිට 15 වනදා දක්වා වාර්තා වූ මාර්ග අනතුරු සංඛ්‍යාව...

පසුගිය 12 වනදා සිට 15 වනදා දක්වා වාර්තා වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 226 ක්

6
0

අම්බලන්තොට ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එකම පවුලේ සිව්දෙනෙකු බරපතල තුවාල ලැබුවා. මේ අතර පසුගිය 12 වනදා උදෑසන 6 සිට 15 වනදා උදෑසන 6 දක්වා කාලය තුළ වාර්තා වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 226 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්ධියේදී අද උදෑසන නවයයි තිහට පමණයි මෙම අනතුර සිදුවුණේ. කොළඹ සිට හම්බන්තොට බලා ගමන් කරමින් තිබූ බස් රථයක හම්බන්තොට දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සදහන් කරන්නේ. කෙසේ වෙතත් අනතුරෙන් ත්‍රී රෝද රථය ගිනිගෙන විනාශ වුණා. එහිදී ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් හතර දෙනෙකු ද පිළිස්සුම් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙහිදී තුවාල ලැබූවන් එකම පවුලේ සාමාජිකයන් වන අතර වයස අවුරුද්දක සහ අවුරුදු අටක දරුවන් දෙදෙනෙකුද ඒ අතර වනවා. බස් රථයේ රියදුරු පොලිසියට භාරවී ඇති අතර හම්බන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

මේ අතර පසුගිය 12 වනදා උදෑසන 6 සිට 15 වනදා උදෑසන 6 දක්වා කාලය තුළ රථවාහන අනතුරු 226 ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා. ඒ අතරින් මාරක රිය අනතුරු 34 ක් , බරපතල ගනයේ රිය අනතුරු 47 ක් වාර්තා වනවා. කෙසේ වෙතත් එම අනතුරුවලින් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ. මේ අතර අදාල කාලය තුළ රථවාහන පැමිණිලි 20259 ක් ලැබී තිබෙනවා. ඉන් පැමිණිලි 505 ක් බීමත්ව රිය පැදවූ රියදුරන්ට එරෙහිව ලැබී ඇති අතර අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි සංඛ්‍යාව 760 ක්. මීට අමතරව අදාළ කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයින් පිළිබද වාර්තාවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ. උත්සව සමයේ ගෙවී යන මෙම කාලය තුළදී විනීතව පරීක්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදෙන ලෙසට ද පොලිස් දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

NO COMMENTS

LEAVE A REPLY