Update: මව්බිමේ විශිෂ්ඨයන්ට වසර 12කට පසු ජාතික සම්මාන ජනපති අතින් අද

Update: මව්බිමේ විශිෂ්ඨයන්ට වසර 12කට පසු ජාතික සම්මාන ජනපති අතින් අද

47
0

මාතෘ භූමය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකිකයින් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ජාතික සම්මාන උළෙල ජනපතිගේ හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ නෙළුම් පොකුණ රගහලේදීයි.

ජාතික සම්මාන උළෙල පැවැත්වෙන්නේ මව්බිමේ පෞඪත්වය ඔසවා තැබීමට සහ දේශයේ අනභිභවනීය ගෞරවය හා ප්‍රගතිය වෙනුවෙන් කැප වූ ශ්‍රී ලාංකිකයින් ඇගයීම වෙනුවෙනුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ වසර දොළහකට පසුවයි. විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකිකයින් අසූනව දෙනෙකු මෙහිදී සම්මාන ලැබුවා. ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලාංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් වෙනුවෙන් පිරිනැමුණා. ශ්‍රී ලාංකික හා පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයින් සඳහා ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකා රංජන සම්මාන දෙකක් ද පිරිනැමුණා. ආචාර්ය සරත් ඩී ගුණපාල හා සිද්ධාර්ථ කාවුල් යන මහත්වරුනුයි සම්මානයට පාත්‍ර වුණේ. ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට මෙන්ම ප්‍රශංසනීය සේවයට උපහාර වෙනුවෙන් දේශමාන්‍ය සම්මානයෙන් දස දෙනෙකු පිදුම් ලැබුවා. දේශබන්දු සම්මානය නව දෙනෙකුට පිරිනැමුණු අතර විද්‍යාජෝති සම්මානයෙන් පිදුම් ලැබූ පිරිස එකොළොස් දෙනෙක්. කලාකීර්ති සම්මාන විසි දෙකක් පිරිනැමුණු අතර ශ්‍රී ලංකා ශිඛාමණී සම්මාන හතක් ද ප්‍රදානය කෙරුණා. විද්‍යා නිධි සම්මාන දහයක් හා කලාශූරි සම්මාන දහතුනක් පිරිනැමුණු අතර අයිටිඑන් මාධ්‍යවේදී ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි ද එම පිරිසට ඇතුළත්. ශ්‍රී ලංකා තිලක සම්මානයෙන් දෙදෙනෙකු පිදුම් ලැබූ අතර වීර ප්‍රතාප සම්මාන දෙකක් ද පිරිනැමුණේ ජනාධිපතිතුමා අතිනුයි. මෙවර සම්මාන සඳහා අයදුම්පත් හාරසිය 26ක් ලැබී තිබුණා. සුදුස්සන් තෝරාගනු ලැබුවේ ඒ ඒ පුද්ගලයින් හා මහජන සංවිධාන මගින් එවනු ලැබූ නාම යෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් මගින් පරික්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. කතානායක කරූ ජයසූරිය ඇතුලු මැතිඇමතිවරුන් ද විද්වතුන් , කලාකරුවන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සම්මාන උළෙල අවසානයේදී ජනාධිපතිතුමා සමිමාන ලාභීන් සමග සුහඳ පිලිසදරක නිරත වන අයුරුද දක්නට ලැබුණා.

………………………………………………

මාතෘභූමිය වෙනුවෙන් සේවය කළ විශිෂ්ඨයින් ඇගයීමේ ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර 12කට පසුවයි.

මාතෘභූමිය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකළ අනූ දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සම්මාන පිරිනැමීමට නියමිතයි.මෙහිදී පිරිනැමෙන උසස්ම සම්මානය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයයි.නෙළුම් මලක ලාංඡනයකින් සමන්විත රන් පදක්කමින් සංඛේතවත් කෙරෙන මෙම සම්මානය ජාතිය උදෙසා කළ උත්කෘෂ්ඨ හා අතිකීර්තිමත් සේවය සදහා එක් අයෙකුට පමණක් පිරිනැමෙනවා. ඊට අමතරව දේශමාන්‍ය සම්මාන 10ක්, දේශබන්දු සම්මාන 9ක්, ශ්‍රී ලංකා රන්ජන ඇතුලු සම්මාන මෙහිදී පිරිනැමීමට නියමිතයි. ශ්‍රී ලංකා රන්ජන ජාතික සම්මානය ලෝකවාසීන් වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් නොවන පුද්ගලයින් උදෙසා පිරිනැමෙනවා.

NO COMMENTS

LEAVE A REPLY