චේගේ මනෝ සිහිනයෙන් ගැලවිය යුතුයි

චේගේ මනෝ සිහිනයෙන් ගැලවිය යුතුයි

9
0

කාර්මික විප්ලවයේ හතරවෙනි යුගයේදී චේ ගේ හෝ ලෙනින්ගේ ආර්ථිකවාදයට කිසිදු ඉඩක් නොමැති බව ඇමති චම්පික රණවක පවසයි.මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පලකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘අර්නස්ටෝ චේ ගුවේරා ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවයට අදාල සන්නද්ධ කල්ලියක් විසින් ඝාතනය කර වසර 50ක් පිරෙනවා. චේ ගුවේරා ත‍්‍රස්තවාදියෙක්ද? නැත්නම් විප්ලවවාදියෙක් ද? ඇමරිකා එක්සත් ජනපදයට අනුව නම් චේ ගුවේරා යනු සන්නද්ධ කි‍්‍රයාදාමයක් මගින් බලය ඇල්ලීමට උත්සාහ කරන ත‍්‍රස්තවාදියෙක්. නමුත් ලොව පුරා මාක්ස්වාදීන්, කොමියුනිස්ට්වාදීන් හා පොදුවේ සමාජවාදීන්ගේ විශ්වාසය චේ ගුවේරා සන්නද්ධ රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ වීරෝධාර විප්ලවවාදියෙක් ලෙසයි. කෙසේ වෙතත් මේ පිළිබඳ විවාදය තවත් බොහෝ කල් පවතිනවා ඇති. මේ පිළිබඳව කිසියම් විග‍්‍රයක් කරනවා නම් සන්නද්ධ ප‍්‍රතිවිරෝධයක් දැක්වීම හැමවිටම ත‍්‍රස්තවාදයක් ද? එහෙම නම් අපේ රටෙත් ඉංග‍්‍රීසින්ට එරෙහිව අවිගෙන සටන් කළ අපේ අතීත විරුවන් ඉංග‍්‍රීසින්ට අනුව ත‍්‍රස්තවාදීන්. නමුත් අපට අනුව ඔවුන් ජාතික විමුක්තිවාදීන්. මෙහිදී අපි තීරණය කළ යුත්තේ ඉතා වැදගත් කාරණයක්. එය තමයි කිසියම් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයෙන් ආණ්ඩු වෙනස් කරන්න, පාලන ක‍්‍රම වෙනස් කරන්න හැකියාවක් නැත්නම් සන්නද්ධ බලය විසින් පාලනය පවත්වාගෙන යනවා නම් එවැනි අවස්ථාවක සන්නද්ධ නැගිටීමක් සිදුවීම වැලැක්විය නොහැකියි. ලෝකයේ විශිෂ්ඨ ගනයේ අවිහිංසාවාදියෙක් වන මහත්මා ගාන්ධි ඉන්දියාවට දකුණු අප‍්‍රිකාවේ සිට පැමිණි අවස්ථාවේ කළ විශේෂ ප‍්‍රකාශයක් තමයි කිසිම ආකාරයක සටනකින් තොරව ඉංග‍්‍රීසින්ට ඉඩ දී බලාසිටීමට වඩා සන්නද්ධව සටන් කළ පිරිස් ශ්‍රෙෂ්ඨයි යන අදහස.

අලූත් දේශපාලන කි‍්‍රයාවලියක් අවිහිංසාවාදී විරෝධතා කි‍්‍රයාවලියක් අද ලෝකය හමුවේ පවතිනවා. ලෝකය පුරාම සන්නද්ධ විකල්ප පරාජය වෙමින් හෝ එම විකල්ප මනුෂ්‍ය ඛේදවාචකයන් බවට පත්වෙමින් තිබෙනවා. අවසාන වශයෙන් චේගුවේරා අනුව ගිය පාර්ක් ගරිල්ලන් පවා පසුගියදා සිය අවි බාරදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසුනා. ලෝකය අද ත‍්‍රස්තවාදයන් හැටියට අවිගෙන සටන් කරන්නේ ඉස්ලාමීය මූලධර්මවාදීන් හා ඉන්දියවේ මාවෝවාදීන් පමණයි. අනෙක් සියළුම සන්නද්ධ අරගල මේ වන විට රාජ්‍යයේ ජයග‍්‍රහණයෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසීම මගින් අවසන් වී තිබෙනවා. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ඇතුලේ ආණ්ඩු වෙනස් කරන්න, පාලන ක‍්‍රම වෙනස් කරන්න හැකියාවක් ඇත්නම්, අවිහිංසාවාදීව සමාජ විප්ලවයන් කරන්න හැකියාවක් ඇත්නම් ඒ අවස්ථාවේ අවිය ඔසවාගෙන කටයුතු කරන පිරිස් ත‍්‍රස්තවාදීන් හැටියටත්, එවැනි අවස්ථාවන්, හැකියාවන් නැතුව සන්නද්ධ බලය විසින් රාජ්‍යය පවත්වාගෙන යන අවස්ථාවල එයට එරෙහිව නැගී සිටීම යුක්ති සහගත වීමත් අපට ලෝකය පුරා දැක ගන්නට පුළුවන්.

චේ ගුවේරා අපට වැදගත් වන්නේ ඇයි? කරුණු කිහිපයක්, චේ ගුවේරා හා ඒ හා බැඳුණු සන්නද්ධ, සමාජවාදී, කොමියුනිස්ට්වාදී මතවාදකරුවන් නිසා මේ ලෝකයට, විශේෂයෙන්ම ලතින් ඇමරිකානු හා මීසෝ ඇමරිකානු රටවල්වලට සිදු උනා. අපි දන්නා දෙය නම් මේ මධ්‍ය ඇමරිකාවේ ඉතාම ඉහළ ගනයේ ශිෂ්ඨාචාරයක් පැවතුනා. අපි එයට කියන්නේ මෙසෝ ඇමරිකාව කියා. මෙසෝ ඇමරිකාවේ අවුරුදු දහස් ගණනක සිට වැදගත් ශිෂ්ඨාචාරයන් ලෙස ඉන්කා, මායා, ඇස්ටික් ආදී වශයෙන් පැවතුනා. නමුත් බටහිර ආක‍්‍රමණයන්, පළමුව ස්පාඤ්ඤය, දෙවනුව එංගලන්තය වගේම ප‍්‍රංශය, ජර්මනිය වැනි විවිධ රටවල් මෙහි ගමන්කර එහි ජනපද පිහිටුවීමත්, ආක‍්‍රමණය කිරීමත්, ජනයා සමූලඝාතනය කිරීමත් සම්පත් කොල්ලකෑමත් සිදුකළා. ඒ වගේම බටහිර අපි‍්‍රකානු ප‍්‍රදේශවලින් ගෙන ආ අහිංසක කලූ ජාතිකයන් වහල් වෙළඳාමේ යොදවා ගනිමින් මේවායේ පැවති ආර්ථික රටාවන් සංවර්ධන රටාවන් සම්පූර්ණ වෙනසකට ලක් කළා. ඒ නිසා ඒ ඒ රටවල්වලට සිදු උනා පළමුව ස්පාඤ්ඤයට එරෙහිවත්, දෙවනුව එංගලන්තය, ප‍්‍රංශය, ඉතාලිය වැනි රටවල්වලට එරෙහිවත් අවසාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිවත් සටන් කරන්න. ඇමරිකා එක්සත් ජනපදය 19 වන සියවස අගභාගයේදී සහ 20 වෙනි සියවස මුල භාගයේදී ඔවුන්ගේ මොන්රෝ ප‍්‍රතිපත්තිය යටතේ මේ කලාපයේ හමුදා පාලනයන් ගෙන ගියා. ඔවුන්ට එරෙහිව කටයුතු කළ සියළුම පාලකයින් පළවා හරිමින් තමන්ට අවශ්‍ය හමුදා ජුන්ටාවන් මගින් මේ කලාපය පාලනය කිරීම සුලබ දර්ශනයක් උනා.

චේගේ හා කැස්ත්‍රෝ වැනි අයගේ කි‍්‍රයාවලි නිසා අද වෙනකොට ඇතිවී තිබෙන සුවිශේෂී තත්වය නම් ඒ හමුදා ජුන්ටාවන් අද කිසිම රටක නැහැ. අද ලතින් ඇමරිකානු සෑම රටකම හා දකුණු ඇමරිකානු සෑම රටකම 80 දශකයේ දැක ගන්නට ලැබුණු හමුදා ජුන්ටාවන් වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයන් ස්ථාපිත වෙලා තිබෙනවා. මහජන ඡන්දයෙන් ආණ්ඩු විතරක් නෙමෙයි, පාලන ක‍්‍රමයනුත් වෙනස් කරන්න පුළුවන් බව බ‍්‍රසීලයේ ලූලා ඞී සිල්වා, ඩිල්මා රුසොප් ආදීන්ගේ බලයට පැමිනීමත්, වෙනිසියුලාවේ හියුගෝ චාවේස්ගේ බලයට පැමිණීමත්, නිකරගුවාවේ ෂැන්ගිස්ටා ව්‍යාපාරය ආරම්භ කළ ඩැනියෙල් ඔටේගා ජනාධිපතිවරණයෙන් තුන් වතාවක් ජයගැනීමෙනුත් පෙනි ගියා. මේ ලෙස අද ලතින් ඇමරිකාවේ ඇතිවී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවට ප‍්‍රධාන වශයෙන්ම චේගුවේරා විසින් දියත් කළ සන්නද්ධ ක‍්‍රියාදාමය දායක වූ බව කිව යුතුයි.

ඒ වගේම චේ ගුවේරා විසින් කිසියම් ආදර්ශයක් ලෝකයට ලබාදුන්නා. කුඩා රටකට උවත් මහ බලවතෙකුට එරෙහිව අධිෂ්ඨානශීලීව සටන් කළ හැකියි කියන මතය ඔහු ලබාදුන්නා. මෙයින් ආශ්වාදය ලැබූ බොහෝ අය, විශේෂයෙන්ම ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ඉතා අසාර්ථක කැරලි දියත් කර මහා මිනිස් ඛේදවාචකයන් බවට ඒවා පත් කළ බවත් ඇත්තයි. නමුත් කුඩා රටවල්වලට මේ මගින් මහත් අත්මාභිමානයක් ලැබුණ බව විශේෂයෙන්ම අප‍්‍රිකාවේ රටවල් ගණනාවක ජාතික විමුක්තිය උදා කර ගැනීම සඳහා, නිදහස් අරගල කර ගැනීම සඳහා චේගුවේරාගේ ආශ්වාදය දැඩිව බලපෑ බව අප පිළිගත යුතුයි.

තුන්වනුව මෙය සමාජයන් වෙනස් වන්නට බලපෑවා. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදයේ කොටසක් හැටියට තිබූ රෝමාණු කතෝලික පල්ලිය දකුණු ඇමරිකාවේ හා මධ්‍ය ඇමරිකාවේ. රෝමාණු කතෝලික පල්ලිය විමුක්ති දේව ධර්මය නමින් නව ධර්මතාවයක් හදාගත්ත මේ ඇති වූ ගොවීන්ගේ, පීඩිතයන්ගේ, තරුණයින්ගේ කැරළිකාරිත්වය උකහා ගැනීම සඳහා මේ සම්බන්ධයෙන් ඇති වූ ඒ විශාල සමාජ වෙනස මගින් තමයි 2000 ආරම්භය වන විට දකුණු ඇමරිකාවේ බොහෝ රටවල බ‍්‍රසීලය ආර්ජන්ටිනාව වෙනිසියුලාව, නිකරගුවාව, බොලීවියාව වැනි රටවල් ගණනාවක නිදහස් ඡන්දයෙන් සමාජවාදී පාලකයින් බලයට පත් උනේ. ඒ වගේම නව චීනය ඒ කලාපයට ඇතුළු වෙලා විශාල ආයෝජන සිද්ධ කළේ.

දැන් චේට ආවේණික විශාල සීමාවන් ප‍්‍රමාණයකුත් තිබෙනවා. අපි ඒ ගැනත් සඳහන් කළ යුතුයි. එහි ඇති ප‍්‍රධානම කාරණය තමයි චේ ගුවේරාගේ දාර්ශනික දුගී භාවය. චේ ගුවේරා විසින් අදහනු ලැබූ කොමියුනිස්ට්වාදී ප‍්‍රතිපත්ති ඔහුට කියුබාවේ කි‍්‍රයාත්මක කරන්න බැරි උනා. පිදෙල් කැස්ත්‍රෝ ඔහුව මහ බැංකුවේ අධිපතිවරයා කළාට ඔහු විසින් සිදු කළ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සියල්ල අසාර්ථකයි. ඒ නිසා ආර්ථිකමය වශයෙන් ගත්තත්, දාර්ශනිකමය වශයෙන් ගත්තත් කොමියුනිස්ට්වාදය අතීතයට අයිති දෙයක් මිස අනාගතය නිර්මාණය කරන දෙයක් නෙමෙයි. එකම කාලයේ බලයට පැමිණි කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝ සහ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සියළුම ආකාරයේ නවීකාරක භාණ්ඩ හා සේවා නිපදවන විශිෂ්ඨ ගනයේ රටක් බවට සිංග්ගපූරුව පත් කළා. ඒක පුද්ගල ආදායම ඩොලර් 50,000 සිට 70,000 දක්වා වැඩිවන රටක් ඇති කළා. නමුත් කියුබාවට එයින් 1/10 කවත් ඒක පුද්ගල ආදායමක් සමාජවාදය යටතේ, විප්ලවවාදී සටන් පාඨ යටතේ ලබාගැනීමට හැකිවෙලා නැහැ. ඔවුන්ගේ ආයුකාලය, සාක්ෂරතාවය වැනි සමාජ දර්ශකවල හොඳ තත්වයක් තිබුණත් ආර්ථිකමය දුගී භාවය ඉතා බරපතලයි. ඒ නිසා චේගුවේරා අනුව යමින් ආර්ථිකය වෙනස් කිරීමට යාම ඉතාම නිෂ්ඵල කි‍්‍රයාවක් වනවා පමණක් නෙමෙයි, එය බොහෝ විට සමාජවාදයට එරෙහි ධනවාදී අන්ත ලිබරල්වාදී බලවේගවලට දේශපාලන වශයෙන් පාර කැපීමක් බවත් අපි අමතක කළ යුතු නැහැ.

ඒ වගේම චේ ගුවේරා ඇතුළු පිරිස් බොහෝවිට අනුගමනය කළේ ලෙනින් විසින් වදාල පරිදි පක්ෂයක් මුල් කරගෙන රාජ්‍යයක් සමාජයක් පවත්වාගෙන යාමයි. කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය එවැනි පක්ෂයක්. ඔවුන් වෙනස් වන්නේ නැහැ. ඔවුන්ගේ පක්ෂයට යටත්ව තමයි ඔවුන් සියළු දේ කල්පනා කරන්නේ. මේ මධ්‍යගත බෝල්ෂෙවික් පක්ෂය තමයි ජනතා විමික්ති පෙරමුණ වැනි පක්ෂවල ආදර්ශය වී තිබෙන්නේ. මේ පක්ෂය මගින් සිදු කරන්නේ කුමක්ද සමාජයක් පක්ෂයට යට කරනවා. ඒ මගින් සමාජයේ නිර්මාණශීලි භාවය බිඳ දමනවා. අද වෙනිසියුලාවේ සිදු වී තිබෙන අර්බුදය දිහා බැලූවාහම, වෙනිසියුලාවේ කම්කරු පක්ෂය අද ඒ රටේ පත්වෙලා තිබෙන ඉතාම දුර්වල තත්වය දිහා බැලූවහම, ජනතාවගෙන් එල්ල වී තිබෙන වියරු විරෝධතාව දිහා බැලූවහම, ඒ රට පත්වී තිබෙන අන්ත දුගී භාවය දිහා බැලූවහම අසීමිත තෙල් සම්පත් තිබූ වෙනිසියුලාවද, මේ හිඟන ආර්ථික සමාජ තත්වයකට පත්වී තිබෙන්නේ කියන එක අපට වටහා ගත හැකියි. ඒනිසා මේ කම්කරු පක්ෂය, බෝල්ෂෙවික් පක්ෂයක් පිළිබඳ බලගතු අදහස අද ලෝකයේ තවදුරටත් වලංගු නැහැ. ඒ වගේම අවසාන වශයෙන් කිව යුත්තේ චේ ගුවේරා ආශ්වාදයට ගනිමින් මනෝරාජික සිහිනවල සිටීමට වඩා මහපොලවේ හිටගෙන, ඔහු කළ ඓතිහාසික කාර්ය භාරයත් වටහාගෙන, ඔහුට වැරදුනු තැන්, ඔහුගේ ආවේණික සීමාකම් හා ඔහුගේ දුර්වලතා හඳුනාගෙන මේ චේගේ මනෝසිහිනයෙන් අපි ගැලවිය යුතුයි.

ලෝකයට ආසියාවෙන් ලැබුණු ආදර්ශය, විශේෂයෙන්ම කොරියාව, තායිවානය, හොංකොං ඒ වගේම සිංගප්පූරුව, ෂෙන් ෂෙන් ආදී ප‍්‍රදේශත්, වර්තමානයේ තායිලන්තය මැලේසියාව වැනි රටවල්වලින් ලැබෙන අලූත් ආදර්ශයත් සමග අප ගමන් කළ යුත්තේ අනිවාර්යයෙන්ම කාර්මික විප්ලවයේ හතරවෙනි යුගය දෙසටයි. කාර්මික විප්ලවයේ හතරවෙනි යුගයේදී චේ ගුවේරාගේ හෝ ලෙනින්ගේ ආර්ථිකවාදයට කිසිදු ඉඩකඩක් නැහැ. හැබැයි ඔවුන් විසින් ගෙන ගිය විප්ලවීය සාරගුණයට නම් ඉඩකඩක් තිබෙනවා. එනම් අධිෂ්ඨානශීලිව සමාජය වෙනස් කිරීම පිළිබඳව වූ සමාජ අධිෂ්ඨානය, හතරවෙනි ජාත්‍යන්තරයක් ගොඩනැගීමට වඩා හතරවෙනි කාර්මික විප්ලවය ශී‍්‍ර ලංකාව තුළ ගොඩනැගීමට අවශ්‍යයි. අද අපට අවශ්‍ය හතරවෙනි කාර්මික විප්ලවය ශ‍්‍රී ලංකාව තුළ ගෙනයන ලාංකීය චේ ගුවේරලා මිසක් ලතින් ඇමරිකාවේ කොමියුනිස්ට්වාදය වැපිරවීමට උත්සාහ කළ චේ ගුවේරා නම් නෙමෙයි’ යැයි පැවසීය.

NO COMMENTS

LEAVE A REPLY