ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ජනපති උපදෙසින් මධ්‍යම අධිකාරියකට බලය පැවරේ

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ජනපති උපදෙසින් මධ්‍යම අධිකාරියකට බලය පැවරේ

13
0

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මධ්‍යම අධිකාරියක් වෙත බලය පැවරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා. ඝන අපද්‍රව්‍ය ගැටලුව නිරාකරණය සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එහිදී අදාළ බලතල එම අධිකාරිය වෙත පැවරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදී තිබෙනවා. මීතොටමුල්ල කසල කන්දේ කොටසක් නායයාමෙන් විපතට පත් ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ අද ආරම්භ වුණා. නිවාස ලබාගැනීමට අකමැත්තක් දක්වන පවුල් සිටින බවද නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව එම පවුල් සදහා තක්සේරු වටිනාකම මත සාධාරණ වන්දියක් ගෙවීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. වන්දි ලබාගන්නා පුද්ගලයින් වෙනුවෙන් ද ප්‍රවාහන හා ගෘහ උපකරණ වෙනුවෙන් ලබාදීමට යෝජිත දීමනා හිමිවනවා. පවතින ගැටලුවලට සම්පූර්ණ විසදුම් ලබාදෙන තුරු සෑම සතියකටම වරක් අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් හා නිලධාරීන් සමග අඛණ්ඩව සාකච්ඡාවක් කැදවීමට ද ජනාධිපති ලේකම්වරයාට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා. මෙම සාකච්ඡාව කැබිනට් රැස්වීමට පෙර පැවැත්වීමට ද තීරණය වුණා.

පීඩාවට පත්  ජනතාවට ලබාදෙන සහන පිළිබද විකෘති මත පළවන බැවින් සත්‍ය තොරතුරු ජනතාවට නිවැරදිව අවබෝධකර දීම සදහා මාධ්‍ය මෙහෙවරක අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා. ඒ සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට මැතිඇමතිවරුන් කිහිප දෙනෙක් ද එක්ව සිටියා.

NO COMMENTS

LEAVE A REPLY