අකුණු වලින් අවුකන පිළිම වහන්සේට අනතුරක් නැහැ – විදුලි ඉංජිනේරුවරුන්

අකුණු වලින් අවුකන පිළිම වහන්සේට අනතුරක් නැහැ – විදුලි ඉංජිනේරුවරුන්

16
0

ඓතිහාසික අවුකන පිළිම වහන්සේට ආරක්ෂාව සලසමින් ඉදිකොට ඇති ආවරණ වහලය හේතුවෙන් පිළිම වහන්සේට අකුණු අනතුරු ඇති වන බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් මාධ්‍යයට කරුණු වාර්තා කොට තිබූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිළිබඳ වහා සොයා බලන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී.මණ්ඩාවල මහතා විසින් මේ පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබාගනිමින් අවශ්‍ය පිළියම් යෙදීමට කටයුතු කර ඇති බව දන්වා තිබේ. ඔහු විසින් ඒ සම්බන්ධව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ ලිපියෙහි අදාළ උපුටනය පහළින් දක්වා ඇත.

උපුටා ගැනීම,
“මෙම ආවරණ වහලය 2013, 2014, 2015 යන කාලය තුළ භාණ්ඩාගාර ප්‍රතිපාදන මත රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලදි. තවත් මෙවැනිම වහලයක් එම දෙපාර්තමේන්තුව මඟින් මාළිගාවිල ඓතිහාසික බුදු පිළිම වහන්සේ ආවරණය වන පරිදි ද තවත් වහලයක් ඓතිහාසික තිවංක පිළිම ගෙයි ආරක්ෂාව පිණිස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් ද ඉදිකිරීමට කටයුතු කරන ලදි.
මෙම වහලය පිළිම වහන්සේ පිහිටුවා ඇති විහාර සීමාවෙන් පිටත අඩි 10 ක් පමණ ගැඹුරට කැණිම් කරන ලද අත්තිවාරම් 4 ක ගොඩනංවන ලද වැර ගැන්වූ කම්බි යෙදු කොන්ක්‍රීට් පාදම් 4 ක් මත සවිකල යකඩ කණු 4 ක ආධාරයෙන් ඉදිකල Space Frame වර්ගයේ වහලයකි.මෙම වහලය ඉදිකර මේ වන විට වසර 2 ක් පමණ ගත වී ඇති අතර අකුණු සැර වැදීමේ හැකියාවක් ඇති බවට විහාරාධිපති හිමියන් විසින් ප්‍රකාශ කළ ද මේ දක්වා මෙම වහලයට හෝ ආශ්‍රිත ප්‍රදේශයට අකුණු සැර වැදුණු බවක් වාර්තා වී නොමැත.
මාධ්‍ය මඟින් මේ පිළිබඳ පළ වූ වාර්තා හැරුණු කොට විහාරාධිපති හිමියන් අප වෙත වාචිකව හෝ ලිඛිතව මේ පිළිබඳව දන්වා නොමැත.
කෙසේ නමුත් අදාළ ඉදිකිරීම මඟින් පිළිම වහන්සේට කිසිදු අකුණු අනතුරක් සිදුනොවන බව විදුලි ඉංජිනේරුවරුන් විසින් තහවුරු කළ අතර, මෙම වහලයේ තාක්ෂණය අනුව එමඟින් අකුණු භුගත කරන බව ඔවුන් පෙන්වාදී තිබේ.
නමුත් අකුණු සැර වදින අවස්ථාවක ඒ ආසන්නයේ සිටින පුද්ගලයින්ට යම් බලපෑමක් ඇතිවීමේ හැකියාවක් ඇති බව පමණක් දැන ගන්නට ලැබුණි. එබැවින් එවැනි අනතුරු වැළැක්වීමට ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවට උපදෙස් ලැබුණි.
මෙම පිළිම වහන්සේ දහනව වන සියවස අග භාගයේ දී නැවත සොය ගන්නා අවස්ථාවේ දී වහලයකින් තොරව පැවති අතර, 1900 කාලයේ දී පොළවට සම්බන්ධ නැති ලෝහමය වහලයකින් හිස කොටස පමණක් ආවරණය කිරීමට කටයුතු යොදා තිබුණි.(ඡායාරූපය 01) පසුව එය ගලවා ඉවත් කළ අතර, 1970 දශකයේ දී පැරණි පාදම ආශ්‍රිතව සැලසුම් කළ ගඩොල් ආරුක්කු වහලයක් (ඡායාරූපය 02) ඉදිකරන්නට යෙදුණු අතර, එම වහලය 1999 දී ගලවා ඉවත් කරන ලදි. ඉන්පසු නැවත නිරාවරණය වී තිබීම හේතුවෙන් (ඡායාරූපය 03) 2013 දී දැනට ඉදිකර ඇති මෙම වහලය (ඡායාරූපය 04,05) ඉදිකිරීම සඳහා කටයුතු කරන ලදි. වහලයක් නොමැති අවස්ථාවන්හී දී හෝ අනෙකුත් වහලයන් පැවති කාලයන්හී දී මෙම පිළිමයට අකුණු අනතුරු අවධානමක් නොතිබූ අතර, මේ හා සමාන වහල සහිත මාළිගාවිල පිළිමය, තිවංක පිළිමගෙය හා ගල් විහාරය යන කිසිදු ස්ථානයකින් මෙවැනි අනතුරුදායක තත්ත්වයක් වාර්තා නොවේ.
කෙසේ නමුත් මෙම ගැටළුව සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ උපදෙස් ලබා ගෙන ඇති අතර, මේ වන විට ඉහත ආකාරයට යකඩ භාවිතයෙන් වහල ඉදිකර ඇති පුරාවිද්‍යා ස්ථාන තුනටම අකුණු ආරක්ෂක උපකරණ සවි කිරීමට සැලසුම් කර ඇත. ”
මහාචාර්ය ජී.බී.මණ්ඩාවල
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

 

01 02 03 04 05

මේ අනුව විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයෙන් නියමිත තාක්ෂණයෙන් යුත් අකුණු සන්නායකයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අවුකන පිළිම වහන්සේ සමීපයෙහි ස්ථාපිත කිරීමට අදාළ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී.මණ්ඩාවල මහතා විසින් දැනුම් දී තිබේ.

NO COMMENTS

LEAVE A REPLY