පාඩු ලබමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් නව ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීම සදහා එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් විදේශ සමාගමකට රුපියල් මිලියන පනහයි දශම හතක් ලබා දී ඇති බව හෙළි වුණා. ඒ ශ්‍රී ලන්කන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසම රැස් වු අවස්ථාවේදීයි.
අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතායි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය මෙම මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස නව ව්‍යාපාර සැලැස්මක් ඇගයීම සදහා එස් ඒ චන්ද්‍රසේකර නමැති උපදේශකවරයෙකු පත් කර තිබෙනවා. ඒ රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික වේතනයක් ගෙවීමේ පොරොන්දුව මතයි. හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා විසින් 2010 අප්‍රේල් මාසයේදී එම සමාගම වෙනුවෙන් මූල්‍ය වර්ෂ හතරක් සදහා උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමට උපදේශකයෙකු ලෙස එස් ඒ චන්ද්‍රසේකර නමැති පුද්ගලයාව පත්කරගෙන තිබෙනවා. චන්ද්‍රසේකර මහතා විසින් ඇමෙරිකා ඩොලර් මිලියන 300 ක් ඇස්තමේන්තුගත සිව් අවුරුදු සැලැස්මක් සකස් කර තිබෙනවා.
මෙම සැලැස්ම විදේශ සමාගම් මගින් සමාලෝචනය කළ යුතු බව නිශාන්ත වික්‍රමසිංහ සභාපතිවරයාට සහ මහා භාණ්ඩාගාරයට අවශ්‍ය බවට හිටපු ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන මහතා තමාට පැවරූ බව දිසානායක මහතා කොමිසම හමුවේ කියා සිටියා. 2010 අගෝස්තු 30 වන දින නිශාන්ත වික්‍රමසිංහ මහතා සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඇගයීම් සමාගමක් තෝරා ගැනීම සදහා පත් කර තිබෙනවා. එම කමිටුව විසින් වයා කැපිටල් සමාගම තෝරාගෙන තිබෙන බව දිසානායක මහතා සාක්ෂි දෙමින් කියා සිටියා.
මෙම සමාගම මෑතකදී ස්ථාපනය කරන ලද සමාගමක් වන අතර ගුවන් සේවා ක්ෂේත්රය තුළ ප්‍රමාණවත් අත්දැකීම් නොමැති සමාගමක් වනවා. වයා කැපිටල් සහ ඉන්ටවිස්ටාස් උපදේශ සමූහය කමිටුව විසින් තෝරා ගෙන තිබුණද කමිටුවේ බහුතර අනුමැතියෙන් තොරව මෙය සිදුකර ඇති බව හෙළි වුණා. නිහාල් ජයමාන්න සහ මනිලාල් ප්‍රනාන්දු යන කමිටු සාමාජිකයන් දෙදෙනා පමණක් මෙම සමාගම්වල අනුමැතිය ලබා දී තිබුණු බවයි කොමිසම හමුවේ දිසානායක මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ.