ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ සංවිධාන කර තිබූ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණීමට නියමිතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට චමල් රාජපක්ෂ මහතා පැමිණීමත් සමග එම උත්සව භූමියේ නොසන්සුන්තාවක් ඇති වුණා. චමල් රාජපක්ෂ මහතාට එල්ල වූ දැඩි විරෝධය හමුවේ උත්සවය අවලංගු කිරීමට ද සිදුවුණා. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේම ප්‍රබලයන් චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර තිබියදීත් මෙවන් විරෝධයක් රාජපක්ෂවරුන් අතරින්ම මතුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙනවා.
ඇඹිලිපිටිය හීන්කලුහින්න වනවාසල නාගවිහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ පුන්යෝත්සවය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර විහාරාධිපති හිමියන් නිවේදනය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් එම උත්සවයට නොපැමිණෙන බවයි.ඒ සමගම ප්‍රදේශවාසීන් හා සංවිධායකයින් ඇතුලු පිරිසක් ඊට විරෝධය පළ කළා.
ඒ අතරතුර තරුණයන් දෙදෙනෙකු විරෝධය පළ කළේ අසල ඇති ගසකට නගිමින්. උත්සව භූමියට චමල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් පසු එම තරුණයන් සන්සුන් කිරීමට හා ගහෙන් බැස්සවීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක වුණා.
මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පසුගියදා පිටත් වුණේ කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ගැනීමට බවත් ඊයේ දිනයේදී එතුමා සහභාගි වූ උත්සවයකින් අනතුරුව නැවතත් වේදනාව ඇති වූ නිසා උත්සවයට පැමිණීමට නොහැකි බවත් චමල් රාජපක්ෂ මහතා දන්වා සිටියා.
තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීමත් සමග චමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සංවිධායකවරයාව සම්බන්ධ කළා.
එම ඇමතුමෙන් පසු සංවිධායකවරයා පැවසුවේ කාටවත් ඕන විදිහට නටන්න බැරි බවත් තමන්ට අවශ්‍ය පරිදි කටයුතු සිදුවිය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් බවයි. අනතුරුව උත්සවය අවලංගු කර චමල් රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂකයින් සමග එම ස්ථානයෙන් පිටත්ව ගියා.
කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතා මෙවන් අපහසුතාවකට පත් වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාගේ නම එම පක්ෂයේම ප්‍රබලයන් ප්‍රසිද්ධියේ යෝජනා කිරීමත් සමගයි. මෙය ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම් සහගත විරෝධතාවක් ද යන්නත් සැක මතුව තිබෙනවා.
මේ අතර නැවතත් රාජපක්ෂවරුන් සූදානම් වන්නේ තමන්ට අවශ්‍ය පරිදි ජනතාව නැටවීමට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ප්‍රකාශ කරන්නේ. කුරුණෑගලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සදහන් කළා.