අද යුගයේ විද්‍යුත් මූලික සකල මාධ්‍යක ම මුල්තැන ගන්නේ රූප සම්පත්තිය යි.වර්ණ සම්පත්තිය යි. පිට ඔපය යි. සමේ පැහැපත්කම, රූපයේ ආකර්ෂණීය බව පතා වෙසෙසින් ම ලලනාවන් දරන ආයාසය ඛේදජනක ය. ආධ්‍යාත්මික ගුණ වගාවට වඩා පිට පොත්තට, බාහිර ඔපයට වහවැටී අද ජන සමාජය විදින පීඩාව ඉතා විශාලයි. නොබෝදා අපේ රටේ උගත් වෛද්‍යවරියක ඇතුළු වටිනා ජීවිත රැසක් තම ජීවිතයෙන් වන්දි ගෙවූ සිද්ධිවලින් ඒ බව නොපෙනේ ද?
විද්‍යුත් මාධ්‍යත් මුද්‍රිත මාධ්‍යත් අන්තර්ගතයට වඩා පිටස්තර සරුව පිත්තල දිස්නේ විහිදුවා බාහිර පෙනුමට මුල්තැන දීම මේ යුගයේ ලක්ෂණය යි. එබදු යුගයක අපි අද සාකච්ඡා කරන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මුවින් පිටවී තල්පත් හි ලියැවී ඇති ත්‍රිපිඨකයේ අංගුත්තර නිඛායේ චතුක්ඛ නිපාතයේ ඇතුලත් මල්ලිකා සූත්‍රය යි.
මල්ලිකා බිසවුන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙරේ වැඩවසන සම්මා සම්බුදුරදුන් බැහැදැක එකත්පසව සිට විමසා සිටින්නේ ඇතැම් කාන්තාවන්ට ලස්සන, සුරූපී, අභිරූපී ආකර්ෂණීය බවක් ලැබෙන්නේ කෙසේද යන්න යි. ඇතැම් කතුන් දුරූපී, විරූපී, අවලස්සන වන්නේ ඇයි දැයි යන්න යි.
මල්ලිකාවෙනි,මේ ලෝකයේ ඇතැම් කාන්තාවෝ බහුල කොට කිපෙන සුළු වෙයි. යන්තම් දෙයකින් වුණත් කෝපය, ද්වේශය, අප්රීතිය පළ කෙරෙයි. එබදු කෙනෙකු මේ ලොවින් චුත වී ඊළග භවයේ දී උපත ලබන්නේ පහත් ගති ඇතිව ය. දුගී දිළිදු නැති බැරි තත්ත්වයේ ය. යනාදී වශයෙන් දීර්ඝ දේශනා විවරණය කෙරෙන මල්ලිකා සූත්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඉරිසියාව,ක්‍රෝධය කෙනෙකු දුර්වර්ණ, අශෝභන, දුටුවන් මන නොබදින තත්ත්වයට පත් කෙරෙන බව යි. එනම් අප කා විසිනුත් සිහිපත් කරගත යුත්තේ ලස්සන වීමේ රහස ඇත්තේ තමා තුළ ම බව යි. තම සිත ලස්සන වූ විට සිතෙහි ඉරිසියාව, ක්‍රෝධය නැති වන තරමට ම තමා ලස්සන වන බවයි.
අධ්‍යතන ජන සමාජයේ ලස්සන වීමේ පිස්සුව ගැන සලකා බලන විට කාන්තාවකට වෙසෙසින්ම වැඩදායී සූත්‍රයක් තමයි මල්ලිකා සූත්‍රය. කර්මය කර්ම ඵල විපාක ගැන කිසි හැඟීමකින් යුතුව පුරාණ කර්මයේ විපාකයක් ලෙස ලැබී ඇති තම රූපය ගැන ඇතැම් විට ද්වේශයකින් මෙන් ,තරගයකින් මෙන් කටයුතු කා හටත් බුදු දහම කියා දෙන්නේ තමන්ගේ රූප ස්වභාවය තමන්ගේ සිත, කය, වචනය තුළින් මතුකර ගන්නක් බව යි. ඒ පිළිබද සම්පූර්ණ වගකීම තමා සතු බව යි.
රූපලාවන්‍යාගාරයකට ගොස් පිටස්තර වශයෙන් දුටුවන් රැවටීමට වඩා තම සිත මෙත් දියෙන් සෝදා පවිත්රකොට කරුණාවෙන්, දයාවෙන් තෙත මාත්තු කොට ගුණවත්කම හදවත තුළින් ම මතුකර ගැනීමට හුරු පුරුදු වීම, විශේෂයෙන් ම මඟුල් දා මංගල ඡායාරූපයකට කිසිදා නොදුටු කෘත්‍රිම මනාලියක් වීමට වඩා කොතරම් අගනේ ද?
එමෙන්ම දුටුවන් සිත් බැදගන්නා ලස්සන රූ සපුවකින් හොබිනා කවුරු වුව ද ඒ ස්වරූය ලැබුණේ පෙර පින් බලයෙන් බව සලකා දැනට ලස්සන අය බුම්මාගෙන නොසිට වඩ වඩාත් මෛත්‍රී දයා ගුණයෙන් සිත සනසා ගැනීමට උත්සුක වෙත්වා…!
ශානිකා රත්නායක (පොසොන් පොහොය නිමිත්තෙනි)