පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 18 වනදා දක්වා අත්හිටුවමින් ශ්රේෂ්ඨාධිකරණයෙ අද(13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඊයේ (12) දිනයේයි. ඉන් පෙත්සම් දහයක වාචික දේශන ද ඊයේ අවසන් කෙරුණා. ඉතිරි පෙත්සම් තුන පිළිබද වාචික දේශන අද (13) සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා. මෙය ජනාධිපතිතුමා ගත් තීරණයක් අභියෝගයට ලක් කිරීමක් බවයි නීතිපතිවරයා සදහන් කළේ.
නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් සදහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා ගත් තීරණය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය සහ 70 වන වගන්තියේ විධායක බලතල අභිමතය පරිදි එවැනි තීරණයක් ගත හැකි බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකර ඇති බවත් නීතිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා නිකුත් කර ඇති ප්රකාශනයකින් මහ මැතිවරණයක් කැදවා ඇති බවත් එම මැතිවරණය සදහා අවශ්‍ය ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් නීතිපතිවරයා සදහන් කළා.
ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පැහැදිලි බලයක් ලබාදී ඇති බැවින් මෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් තාවකාලිකව හෝ නිකුත් කළ නියෝගයකින් ජනාධිපතිවරයාගේ ප්රකාශනය අත්හිටුවීමට අධිකරණයට බලයක් නොමැති බවත් නීතිපතිවරයා පැවසුවා. එම නිසා එම පෙත්සම් මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසද නීතිපතිවරයා ඉල්ලා සිටියා. මෙවැනි තත්ත්වයක් යටතේයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂක විධිවිධාන සලසා තිබුණා. පොලීසිය,විශේෂ කාර්ය බළකාය මෙන්ම කැරළි මර්දන ඒකක ද යෙදවීමටයි කටයුතු කර තිබුණේ.