ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබදතා තවදුරටත් සමීප කරලීමට නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්‍රියාකාරී සැලස්මක් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ එච් එම් මුස්තෆා කමල් මහතා අතර පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදීයි. මේ අතර අග්‍රාමාත්‍යවරයා හා වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා අතර ද සාකච්ඡා පැවැත්වුණා.
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තෆා කමල් අතර හමුව පැවැත්වුණා. බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ සුබපැතුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමූ මුස්තෆා කමල් මහතා එරට සංචාරයක් සදහා අගමැතිනියගේ ආරාධනය ද අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දුන්නා. තේ , ධීවර , ඖෂධ , අධ්‍යාපන සහ මූල්‍ය ආදී ක්ෂේත්රවල සංවර්ධනය සදහා ශ්‍රී ලංකාවේ සහාය සහ විශේෂඥ උපදෙස් බලාපොරොත්තු වන බවද මුස්තෆා කමල් මහතා මෙහිදී ප්‍රකාශ කළා. බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සදහා ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින්ගෙන් ලැබුණු සහාය ද ඒ මහතා මෙහිදී කෘතවේදීව සිහිපත් කළා. ඉන්දීය සාගර සමුළුවේ අනාගත කාර්යභාරය සකස්විය යුතු ආකාරය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කළා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වූවා. ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම වසර 2020 වන විට ඇමෙරිකා ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධාරණය කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම රට කෙරෙහි දක්වන මිත්‍රශීලී ආකල්පය සම්බන්ධයෙන් ෆාම් බින් මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කළා. ඉන්දීය සාගර සමුළුවේ සත්කාරක රාජ්‍යය ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ද වියට්නාමයට සිය ස්තූතිය පළ කළා. ඉන්දීය සාගර සමුළුව ඔස්සේ කලාපීය සංවර්ධනය ,සාමය හා සමෘද්ධිය උදාකර ගැනීම සඳහා සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගත යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා. දෙරටේ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවන්ට සහභාගි වුණා.