මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන අය ඇතුළු හතර දෙනෙකුට අධි චෝදනා භාර දුන්නා. විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට ද කටයුතු කෙරුණා. මෙම විශේෂ මහාධිකරණයේ පළමු නඩුවයි අද මෙසේ කැදවනු ලැබුවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් යන අය ඇතුළු විත්තිකරුවන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ , හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු සැකකරුවන්. ලිට්රෝ ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආනයනය කිරීමේ දී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. පොදු දේපළ පනත , මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩනීතී සංග්‍රහය යටතේ නීතිපතිවරයා මොවුන්ට අධිචෝදනා ගොනුකර තිබෙනවා. 2014 වසරේ පෙබරවාරි මස 01 වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා අතර කාලය තුළ විත්තිකරුවන් මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා. ඒ අනුව අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු විත්තිකරුවන්ට වෙන් වෙන්ව රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම කළා. විනිසුරුවරුන් තවදුරටත් නියෝග කළේ විත්තිකරුවන්ගේ ඇගිලි සළකුණු ලබා ගන්නා ලෙසයි.
පැමිණිලි පාර්ශ්වයේ ලේඛණ සතියක් ඇතුළත විත්ති පාර්ශ්වය වෙත භාරදීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛණ පරිශීලනය කොට දෙපාර්ශවයේ සැලකිරීම් සදහා නඩුව සැප්තැම්බර් 19 වනදා යළි කැදවීමට ද නියෝග කෙරුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් යටතේ ඉදි කෙරන කොල්ලුපිටියේ ග්‍රෑන් හයිට් රීජන්ට් හොටෙල් ව්‍යාපෘතිය සදහා 2012 වසරේ කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන 18 .5ක් වෙන් කර තිබුණා. ඉන් රුපියල් බිලියන 4ක් නීතීවිරෝධී ලෙසට හම්බන්තොට හයිට් රීජෙන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරික්ෂණයක් සිදුකළා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කෙරුණා. මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා. එහි පළමු නඩුවයි අද මෙසේ විභාගයට ගැනුනේ. සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න මෙම පළමු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළා.