වයස අවුරුදු 19 න් පහළ ඉන්දීය ක්රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්වුණා.
කොළඹ එස් එස් සී ක්රිකට් ක්රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 193 ක් පමණයි. ශෂික දුල්ෂාන් කඩුලු 03 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 04 කදී කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 195 ක් ලබා ගනිමින් තරගයේ ජයග්රහණය වාර්තා කළා. නායකත්ව ඉනිමක් ක්රීඩා කරමින් නිපුන් ධනංජය නොදැවී ලකුණු 92 ක් ලබා ගත්තා. ඔහුට අනගි සහයක් ලබා දුන් පසිදු සූරියබණ්ඩාර ලකුණු 52 ක් ඉනිමට එක්කළා.