ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමග වෙළෙද ගිවිසුමකට එළඹීමේ මූලික අරමුණ විදේශ ආයෝජන වැඩිකර ගැනීම සහ ඒ හරහා ගෝලීය වෙළෙදපොල සමග ඇති සබදතා වැඩිකර ගැනීම බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙදාම පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. අමාත්‍යවරයා එහිදී තවදුරටත් මෙසේ අදහස් පළකළා.
අමාත්‍ය මලික් සමරවික්‍රම,
(විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඇතැම් සංවිධාන වෙළෙද ගිවිසුම සම්බන්ධයෙන් විශේෂඥයන් යැයි සිතමින් කිසිදු පදනමකින් තොර චෝදනා එල්ල කරනවා. එම කරුණු අසත්‍ය බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. ජීඑම්ඕ එක වෘත්තීය සමිතියක් එහෙත් එය පොහොට්ටුවේ වෘත්තීය සමිතියක් බව ඔප්පුවී හමාරයි. නිදහස ලැබී වසර 70 කටත් වැඩි වුවත් ආර්ථික නිදහස ලැබී තිබෙන බව අවංකව පිළිගත හැකිද? මිලියන ගණනක් ජනතාව තවමත් වේල් දෙකක්වත් ආහාර ගන්න බැරුව සිටිනවා. තවත් සමහරු දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න බැරුව සිටිනවා. තවත් පිරිසක් හොදා රැකියා සොයමින් සිටිනවා. මේ සියල්ලටම හේතුව අප රටක් වශයෙන් ආර්ථික වශයෙන් නිදහස ලබාගැනීමට අසමත් වීඹයි. ආර්ථික නිදහස ලබාගැනීමට නොහැකිවීමට ප්‍රධාන හේතුව රටේ ප්‍රගතිය වෙනුවට තම වාසිය පිළිබද සැලකූ දේශපාලනයයි. රජයක් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යම් ප්රගතිශීලී පියවරක් ගත් විට විපක්ෂය උපරිමයෙන් උත්සාහ දරණවා එම වැඩසටහන හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නවත්වන්න.
අප මෙතෙක් අනුගනමය කළ වෙළෙද ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. දේශීය වෙළෙදපොලට පමණක් අවදානය යොමුකරමින් අනුගමනය කළ ආරක්ෂණවාදී වෙළෙදපොල ප්‍රතිපත්ති අපට අවශ්‍යකරන ප්‍රතිඵල ගෙනදීමට අසමත්ව තිබෙනවා. එහෙත් කලාපයේ අනෙකුත් රටවල අත්දැකීම මීට සම්පූර්ණයෙන්ම වෙනස්. සිංගප්පූරුව , මැලේසියාව , තායිලන්තය , වියට්නාමය , තායිවානය ඇතුළු රටවල් රැසක් විවෘත වෙළෙදපොල ප්‍රතිපත්ති හරහා ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීමට මෙන්ම ව්‍යාපාරවලට හිතකර පරිසරයක් ස්ථාපනයට සමත්ව සිටිනවා. මෙම රටවල් වෙළෙදාම හා ආයෝජන වැඩිකර ගැනීම ඔවුන්ගේ සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස කටයුතු කළත් අප රටක් වශයෙන් එසේ සිදුකළේ නැහැ. දැන් අපට අවස්ථාවක් ලැබී තිබෙනවා අප අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස්කර අපට මගහැරුණු සංවර්ධන අවස්ථා ලබාගන්න. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හැකිවුණා ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කරන්න. එය ඩොලර් බිලියන පහළොවයි දශම එකයි පහක්. මේ වසරේදී ඩොලර් බිලියන 17.2 ක අපනයන ආදායමක් ලබාගන්න හැකිවන බවට මට විශ්වාසයි. පසුගිය වසරේදී සෘජු ආයෝජන විශාල ප්‍රමාණයක් ලබාගැනීමට ද අපට හැකිවුණා. එහෙත් සෙසු ආසියා රටවල් හා සසදනවිට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉතා අඩුයි. සිංගප්පූරුවේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 480 ක්. එරටට ලැබෙන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 77 ක්. තායිලන්තය , මැලේසියාව , වියට්නාමය , තායිවානය සහ බංග්ලාදේශයේ තත්ත්වයත් එසේමයි. මෙහිදී අප හදුනාගත යුතු කරුණ තමයි මේ රටවල් සියල්ලම නිදහස් වෙළෙද ගිවිසුම්වලට එළඹ ඇති බව සහ වෙළෙදාම ලිහිල්කර ඇති බව. ඒ හරහා මෙම රටවල්වලට හැකිව තිබෙනවා සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට. ඒ හරහා කෙටිකාලයක් තුළ ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට. ජනතාවට හොද රැකියා ලබාදීමට මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද ඒ තුළින් හැකිව තිබෙනවා. මින් ඉතා පැහැදිලිව අපට පෙන්නුම් කරන්නේ අප අපේ තරගකාරීන් සමග සසදා බලද්දී අලුතෙන් සිතීම අතින් කොතරම් පසුපසින් සිටිනවාද යන්නයි. තුන්වන ලෝකයේ රටක්ව සිට ජාත්‍යන්තර වෙළෙදාමට විවෘත හා විදේශ අයෝජනවලට විවෘත නොවී සංවර්ධිත රටක් බවට පත්වුණු එක රටක් හෝ තිබෙනවාද? මම අභියෝග කරනවා එහෙම එක රටක් හරි තිබෙනවා නම් සදහන් කරන්න කියලා.
අපට රටක් වශයෙන් ඉතා දිගු ගමනක් තිබෙනවා. දේශීය වෙළෙදපොලට පමණක් අවදානය යොමුකළහොත් අපට කවදාවත් රටක් වශයෙන් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගන්නට හැකිවන්නේ නැහැ. රටක් වශයෙන් ඇති විසදුම ගෝලීය වෙළෙදපොල සමග සම්බන්ධවීමයි. මෙම වෙළෙද ගිවිසුම්වලට එළඹීමේ මූලික අරමුණ එයයි. වෙළෙද ගිවිසුම් හරහා අපට හැකිවනවා නව වෙළෙදපොලවලට පිවිසීමට , ආයෝජන ලබාගැනීමට මෙන්ම නව තාක්ෂණය ලබාගැනීමට. ඒ හරහා අපට පුලුවන් ගෝලීය වෙළෙදපොලේදී ලෝකයේ සෙසු රටවල් හා තරගකරන්න සහ ඒ හරහා සංවර්ධනය ළගාකර ගන්න. ජීවන වියදම් සම්බන්ධ කැබිනට් කමිටුවේ සභාපති මමයි. ජීවන වියදම අඩු කිරීම පිළිබද සාකච්ඡාවලදී අප බොහෝවිට කතා කරන්නේ භාණ්ඩ මිල අඩුකිරීම ගැනයි. එය ජීවන වියදම ඉහළ යාම කියන ගැටලුවේ එක පැත්තක් පමණයි. අනෙක් පැත්ත ජනතාවට ලැබෙන ආදායමයි. ආදායම ඉහළ දැමිය හැකි එකම ක්‍රමය ගෝලීය වෙළෙදපොල සමග වඩාත් හොද සබදතාවක් පවත්වා ගැනීමයි. අපි රජයක් වශයෙන් සූදානම් දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීමට. දැනටත් ඒ කටයුත්ත කරනවා. එහෙත් ආනයනය කරන භාණ්ඩ මත අතිවිශාල තීරුබදු පනවමින් ක්‍රියාත්මක කරන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති හරහා දේශීය කර්මාන්ත දියුණුකල නොහැකියි. මේ වනවිටත් අපි දේශීය කර්මාන්තකරුවන්ට සහන ණය යෝජනා ක්‍රම කිහිපයක්ම ආරම්භකර තිබෙනවා. අප බලාපොරොත්තු වනවා වෙළෙද ගිවිසුම හරහා සිදුවන තීරුබදු ඉවත් කිරීම නිසා බලපෑමට ලක්වන කර්මාන්ත කරුවන් සදහා විදේශ වෙළෙද ගැලපීම් වැඩසටහන් හදුන්වාදීමට. ශ්‍රී ලංකාවට ගෝලීය වෙළෙදපොල සමග තරග කිරීමට අපහසු නිසා වෙළෙදපොල විවෘත කිරීමේ දී එය ඉතා ප්‍ර වේශමෙන් කළයුතු බව පවසන සියලු දෙනා ශ්‍රී ලංකාවට විශාල අසාධාරණයක් කරනවා. ඇයි අපි ලෝකයේ සෙසු නිෂ්පාදන හා තරග කිරීමට බියවන්නේ. අපේ අපනයනකරුවන් දෙස බැලුවොත් ඔබට පෙනේවි ඔවුන් කෙතරම් දක්ෂ ආකාරයට ගෝලීය නිෂ්පාදන හා තරගකර තිබෙනවාද කියනඑක. ලංකාවේ නිපදවන රබර් ටයර් ලොව හොදම ගුවන් යානා නිපදවීමට යොදා ගන්නවා.
ලොව පිළිගත් ශල්‍ය වෛද්‍යරුන් භාවිත කරන්නේ අපේ රටේ නිපදවන අත්වැසුම්. ලොව හොදම මලල ක්‍රීඩකයින් ලංකාවේ නිපදවන ඇදුම් පැළදුම් භාවිත කරනවා. ලොව හොදම මෝටර් රථ නිෂ්පාදකයා අපේ රටේ නිෂ්පාදනය කළ ඉලෙක්ට්‍රොනික් සංවේදක යොදාගන්නවා. ලොව ප්‍රධානතම කොටස් වෙළෙදපොලවල් අප නිපදවූ මෘදුකාංග භාවිත කරනවා. අපට පුළුවන් ගෝලීය වෙළෙදපොල හා තරග කරන්න. සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙද ගිවිසුම ද්වීපාර්ශ්වීය වෙළෙදාම හා ආයෝජන සදහා නීතිමය බැදීමක් සහ නිෂ්චිත රාමුවක් සපයනවා. එය මීට පෙර රටවල් දෙක අතර නොපැවති දෙයක්. මෙම ගිවිසුම හරහා අප රටට අවශ්‍ය කරන විදේශ ආයෝජන ආකර්ශනය කරගත හැකි වනවා. සිංගප්පූරුව හා වෙළෙද ගිවිසුමකට එළඹීමේ මූලික අරමුණ විදේශ ආයෝජන වැඩිකර ගැනීම හා ඒ හරහා ගොලීය වෙළෙදපොල සමග ඇති සබදතා වැඩිකර ගැනීමයි. මෙම ගිවිසුම සම්බන්ධනේ එල්ලවන ප්‍රධාන චෝදනාවක් තමයි ඊට කැබිනට් අනුමැතිය ලැබුනෙ නැහැ කියන එක. එය සම්පූර්ණයෙන් අසත්‍යයක්. මෙම ගිවිසුම සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබදව පළමුවෙන්ම කැබිනට් මණ්ඩලය දැනුවත් කළේ 2017 දී කැබිනට් සම මණ්ඩලයට ඉදිරිපත් කළ අතුරු වාර්තාවක් මගින්. මෙම ගිවිසුම අදාල වන ක්ෂේත්‍ර මොනවාද? ඒ හරහා කොතරම් දුරකට වෙළෙදාම ලිහිල් කෙරෙනවාද අදාළ පාර්ශ්ව සමග සිදුවන තොරතුරු විමසීම් හා සාකච්ඡාවල තත්ත්වය කෙසේද යන තොරතුරු එම වාර්තාවේ අන්තර්ගතව තිබුණා. ඉන් පසු 2017 දෙසැම්බර් 21 දින ගිවිසුමේ කෙටුම්පත ඇතුළත් වන අමාත්‍යමණ්ඩල සංදේශයක් මා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිතුමා සහ කැබිනට් ඇමතිවරු 14 දෙනෙක් ජනවාරි මස 9 වන දින මේ පිළිබද ධනාත්මක ප්‍රතිචාර දැක්වූවා. එම ප්‍රතිචාරවලට අනුව සංශෝධන සිදුකළා. එකී සංශෝධිත ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ජනවාරි 16 වනදා ඊට කැබිනට් අනුමැතිය හිමිවුණා. ජනවාරි 23 සිංගප්පූරු අගමැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරු ගිවිසුමට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නා.)