තායිලන්තයේ ගුහාවක සිරවී සිටින දරුවන් අතුරින් තවත් දරුවන් 4 දෙනෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන් සමත්වී තිබෙනවා. ඒ අනුව දරුවන් 8 දෙනෙකු ගුහාවෙන් නිදහස් කරගෙන අවසන්. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. ගුහාවෙන් පිටතට පැමිණීමෙන් පසු තමන්ට කුසගිනි බවයි දරුවන් සඳහන් කර ඇත්තේ. මුදාගත් දරුවන් මේ වන විට රෝහල්ගතකර ඇති අතර රෝග වැළඳීමේ අවදානම නිසා කිසිදු බාහිර පුද්ගලයෙකුට ඔවුන්ව මුණ ගැසීමට නොහැකියි.
පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනෙකු හා පුහුණුකරු පසුගිය මස 23 වනදා මෙම ගුහාවේ සිරවුණා. ඒ අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වයක් සමගයි. දරුවන් හා පුහුණුකරු බේරා ගැනීමට විවිධ ප්රයත්න ගත් අතර දරුවන් 4 දෙනෙකු සාර්ථක ලෙස බේරා ගැනීමට කිමිදුම්කරුවන් ඊයේ සමත්වුණා. තායිලන්තයේ හා විවිධ රටවල විශේෂඥ කිමිදුම්කරුවන් මෙම මෙහෙයුමට එක්ව සිටිනවා. පැය 5 කට ආසන්න කාලයක් ජලය තුළින් කිමිදෙමින් දරුවන් රැගෙන ඒමට සිදුවීම නිසා මෙහෙයුම ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව තිබෙනවා. ස්ථාන කිහිපයක ඔක්සිජන් ටැංකි රැඳවීම මගිනුයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ. කෙසේ වෙතත් ඔක්සිජන් හිඟවීම නිසා මීට පෙර එක් කිමිදුම්කරුවෙකු මිය ගියා. මෝසම් වර්ෂාව ඇති වීමත් සමග දරුවන් බේරා ගැනීමේ කාර්යය කඩිනම් කළ යුතු වනවා. වඩාත් දුර්වල දරුවන් පළමුව මුදා ගැනීමයි සිදුවන්නේ. ඔවුන් සිරවී සිටින ස්ථානයේ ඔක්සිජන් මට්ටම පහළ වැටීම ද ප්‍රධාන අභියෝගයක්.