ඇතැමුන් විනෝදාස්වාදයට යොමුවන්නේ ජීවිත අවදානම ගැන පවා නොසිතමින්.විනෝද චාරිකාවක් අතරතුර ඉතා අවාසනාවන්ත ලෙස පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතයෙන් සමුගත් පුවතක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔවුන්ගේ සිරුරු මේ වන විට සොයා ගෙන තිබෙනවා.
අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් එග්ගල්ඔය වනෝද්‍යානයේ පිහිටි සංචාරක නිකේතනයට ඊයේ සවස 45 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණියේ විනෝද චාරිකාවක් සඳහායි. බදුල්ල කඳන ශ්‍රී සීවලී විද්‍යාලයේ සුබසාධක සමිතිය මෙම විනෝද චාරිකාව සංවිධාන කර තිබුණා. එහි විදුහල්පතිවරයා ඇතුලු 9 දෙනෙකු අද උදෑසන සංචාරක නිකේතනය අසල ඇති ජලාශයට පැමිණියේ දිය නෑම සඳහායි. ඒ අසල තිබූ ඔරුවකට නැගි පිරිස හබලක ආධාරයෙන් ජලාශය මැදට ගියේ මහත් විනෝදයෙන්. එහෙත් ජලාශය මැදදී හබල මගින් ඔරුව හැසිරවීම ඉතා අපහසු කාර්යයක් බවට පත්වීමත් සමග ඔරුව පෙරළී ගියේ ඉතා අනපේක්ෂිත ලෙසින්. අසල සිටි ධීවරයින් පිරිසකට 5 දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකි වුණත් ඉතිරි 4 දෙනාට ජීවිතයෙන් සමුගෙන යාමට සිදුවුණා. විදුහල්පති බී එස් අමරසූරිය , ගුරුවරයෙකු වන යූ කේ චන්දිම , පාසලේ මුරකරු ලෙස සේවය කළ විපුල බණ්ඩාර හා 13 හැවිරිදි පාසල් සිසුවෙකු ද ඒ අතර වනවා.