ඉන්දියාව චන්ද්‍රිකාවකට ප්‍රහාරයක් එල්ලකර විනාශ කිරීමෙන් පසු අභ්‍යවකාශය තුළ ගැටලු රැසක් ඇතිවිය හැකි බවට ඇමෙරිකා රජය අනතුරු අගවා තිබෙනවා.
ඉන්දියාව චන්ද්‍රිකා නාශක අවි පසුගියදා සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ යටතේ ඉන්දියාවම උඩුගුවනට යැවූ චන්ද්‍රිකාවක් ප්‍රහාරක අවියක් මගින් විනාශකර දැමීමට ඉන්දියාවට හැකිවුණා. කෙසේ වෙතත් චන්ද්‍රිකාව විනාශ කිරීමෙන් පසු අභ්‍යවකාශයේ ඉතිරිවන සුන්බුන් වෙනත් චන්ද්‍රිකාවල ගැටී අභ්‍යවකාශය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂැනහන් මහතා පවසන්නේ. විනාශකළ චන්ද්‍රිකාවල සුන්බුන් රැසක් මේ වනවිටත් අභ්‍යවකාශය තුළ පවතිනවා. පළමුවෙන්ම අභ්‍යවකාශ චන්ද්‍රිකා විනාශ කිරීමේ වැඩපිළිවෙළක් අත්හදා බලන් ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒ 1970 දශකයේදීයි. චීනය ද 2007 වසරේ දී චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලුවා. ශක්ති මෙහෙයුම නමින් ඉන්දියාව අත්හදා බැලූ චන්ද්‍රිකාව විනාශ කෙරුණේ පොළවේ සිට කිලෝමීටර් 300 ක් පමණ දුරින්. පහළ ස්ථරයක මෙම අත්හදා බැලීම සිදුවූ බැවින් අභ්‍යවකාශය තුළ බරපතල ගැටලුවක් ඇති නොවන බවයි ඉන්දියාව පවසන්නේ. රූපවාහිනී මාධ්‍ය මගින් ජාතිය ඇමතූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියාසිටියේ ඉන්දියාව මේ වනවිට අභ්‍යවකාශ බලවතෙකු බවට පත්ව ඇති බවයි. සිය රාජ්‍යයන් තුළ චන්ද්‍රිකා මගින් තොරතුරු විමර්ශනය කිරීම වැළැක්වීම සදහා මෙම චන්ද්‍රිකා නාශක අවි භාවිත කෙරෙනවා.