ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්වුණා.
දකුණු අප්රිකාවේ කේප්ටවුන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 7 ක් ලෙස මුලු ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී දැවී ගියා. අනතුරුව අවිශ්ක ප්රනාන්දු හා කමිදු මෙන්ඩිස් ඉණිම ගොඩනැගීමට උත්සාහ කළා. ලකුණු 16 ක් ලබාසිටියදී අවිශ්ක ප්රනාන්දු අවාසනාවන්ත ලෙස දැවී ගියා.
අනතුරුව හුදකලා ඉණිමක් ක්රීඩා කළ කමිදු මෙන්ඩිස් ලකුණු 41 ක් ඉණිමට එක්කළා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී 134 ක් ලබාගත්තා. පිළිතුරු ඉණිම ක්රීඩා කළ දකුණු අප්රිකා පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබාගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ඉසුරු උදාන හා ලසිත් මාලිංග ක්රියාත්මක කළ අවසන් පන්දුවාර හතරේදී ලබාගත්තේ ලකුණු 17 ක් පමණයි. ඉසුරු උදාන ක්රියාත්මක කළ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණු 2 ක් ජයග්රහණය සදහා දකුණු අප්රිකාව ලබාගත යුතු වුණා. එහෙත් ඔවුන්ට ලබාගත හැකි වුණේ එක් ලකුණක් පමණයි.
මේ අනුව දකුණු අප්රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 134 ක් පමණයි. ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරය මගින් ජයග්රහණය තීරණය වුණා. ලසිත් මාලිංග ක්රියාත්මක කළ එම පන්වාරයේදී දකුණු අප්රිකාව ලකුණු 14 ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට ලබාගත හැකි වුණේ ලකුණු 5 ක් පමණයි. මේ අනුව සුපිරි පන්දුවාරයේ ලකුණු 9 ක ජයක් දකුණු අප්රිකාව සතුවුණා. තරගයේ වීරයේ ඩේවිඩ් මිලර්. දෙරට අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.