කෙන්යාවේ සිව් දින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද යළි දිවයිනට පැමිණියා. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවත් කෙන්යාවත් අතර ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් තහවුරු වීම සහ දෙරට අතර නව සහයෝගීතා ගමනකට මුල පිරීම විශේෂත්වයක්.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 04 වන සැසිවාරයේ විශේෂ ආරාධිතයකු ලෙස එක්වීමට කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගෙන් ලද විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා පසුගිය 13 වැනිදා කෙන්යාවේ නිල සංචාරය ආරම්භ කළා. එරට ජනාධිපති උහුරු කෙන්යාටා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජොයිලිනා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා. ඊට රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් 5000 කට අධික පිරිසක් සහභාගී වී සිටියා.
මාර්තු 14 වැනිදා නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේදී ජගත් පරිසර සමුළුව ආරම්භ වූ අතර තුන්වන කථිකයා ලෙස ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් විශේෂ යෝජනා 04 ක් මෙහිදී පරිසර සමුළුවට ඉදිරිපත් කිරීමද විශේෂත්වයක්. පරිසර අමාත්‍යවරයකු ලෙස සහ රාජ්‍ය නායකයකු ලෙස පරිසරය සුරැකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබද ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළඹි නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලු දෙනාගේ දැඩි අවධානයට ලක් වුණා. ජනාධිපතිතුමාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙල ඔවුන්ගේ ඇගයීමට ලක් වීමද විශේෂත්වයක්. කෙන්යා ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ද්වීපාර්ශ්වික එරට රාජ්‍ය මන්දිරයේදී ආරම්භ වූයේ මාර්තු මස 15 වනදායි. දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා නව ප්රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට හා ජාත්‍යන්තර තලයේදී එක්ව කටයුතු කිරීමට එහිදී දෙපාර්ශ්වයේ නායකයින් සහතික වුණා. ජනාධිපතිතුමා සිය සංචාරයේදි නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.
මෙම සංචාරයේදි ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ හමුවකටද එක් වූයේ ඔවුන්ගේ ගැටළු පිළිබද සොයා බැලීම සදහායි. කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිතුමාට ගෞරවනීය සමුදීමක් වෙනුවෙන් එරට ජල සම්පාදන අමාත්‍ය සයිමන් කිප්රෝනෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් නයිරෝබි ජොමා කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා.