Life+News The Official News Portal of Independent Television Network Ltd

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමේ වැදගත්කම ජනපති කෙන්යාවේ සිට ලොවට පෙන්වා දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 18:16

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමේ වැදගත්කම ජනපති කෙන්යාවේ සිට ලොවට පෙන්වා දෙයි

සුරක්ෂිත පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හදුන්වාදීම අද දවසේ සියලු දෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදුකරමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සදහා නවෝත්පාදක විසඳුම් යන්නයි. මෙම සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්වූයේ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාට මැතිතුමාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙසයි. සමුළුවට සහභාගිවීම සදහා කෙන්යා ජනාධිපතිවරයා ඇතුළු සෙසු රාජ්‍ය නායකයින් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළු පරිශ්‍රය වෙත පැමිණියේ පාගමනින්. මෙවර සමුළුවට ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජොයිලිනා යන ජනාධිපතිවරුන් ද එක්ව සිටිනවා.

නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන සමුළුවට රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයින් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටිනවා. සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හරසරින් පිළිගත්තේ කෙන්යාවේ කැබිනට් ලේකම් මොනිකා කුමා මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෙන්යාවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ඇතුළු පිරිසක්. පුනර්ජනනීය බලශක්ති සදහා නව ව්‍යාපාර ආකෘති නමින් සමගාමී සමුළුවක් ද ප්‍රධාන සමුළුවට පෙර ආරම්භ වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊට ද සහභාගි වුණා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ ඉහළ පෙලේ සැසිය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එහිදී සිය දේශනය ආරම්භ කරමින් ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය තුළට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත්, විද්‍යාව සහ තාක්ෂණයත් ගොනුකිරීමට කැමැත්තෙන් සිටින බවයි. ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් යෝජනා 4 ක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සැසිවාරය සදහා ඉදිරිපත් කිරීම මෙහිදී කැපී පෙනුනා.

(පරිසර ගැටලුවලට නවෝත්පාදක විසදුම් සෙවීම සහ තිරසර පරිභෝජනයක් සදහා විසදුම් සෙවීම තමයි අද අප එක්වී සිටින සමුළුවේ අරමුණ. ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් මුහුණපාන ගැටලු ද මෙම සමුළුවේදී අවදානයට යොමුවෙනවා. මෙම සමුළුවට කඩොලාන තිරසර ලෙස කළමනාකරණය , ආහාර නාස්තිය සහ අපතේයාම කළමනාකරණය , සමුද්‍රික කසල සහ ශුද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය සහ  ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන යෝජනා 4 ගෙනඒමට ශ්‍රී ලංකාව ද එක්ව සිටිනවා. දකුණු ආසියානු කලාපය තුළ තිරසර පරිභෝජනය සහ තිරසර නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නිර්මාණය කළ පළමු රට ශ්‍රී ලංකාව බව මම මෙහිදී කියාසිටින්න කැමතියි. මගේ පාලනය යටතේ නීල හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සදහා ප්‍රතිපත්ති මාලාවක් හදුන්වා දුන්නා. අප ක්‍රියාත්මක කළ නීල හරිත වැඩපිළිවෙළ යටතේ සාගරය සහ ගොඩබිම යන දෙඅංශයම ආවරණය වනවා. නාගරික ප්‍ර දේශවල පිරිසිදු වාතාශ්‍රයක් ඇති කිරීම සදහා ඉදිරිපත්කර ඇති වැඩපිළිවෙළ යටතේ 2025 වනවිට පිරිසිදු වායුගෝලයක් ඇති නගර බිහි කිරීමට අප ඉලක්ක කර තිබෙනවා. ඉන්ධන දහනය වන වාහන මගින් සිදුවන පරිසර හානිය සළකා බලා වාහන ආනයනය සීමා කිරීමට වැඩපිළිවෙළක් සකස් කළා. ඊට අමතරව ගංගා පවිත්‍ර කිරීම සදහා ද පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. පරිසර අමාත්‍යවරයා වශයෙන් ඇතැම් පොලිතින් නිෂ්පාදනය සහ භාවිතය තහනම් කිරීමට මා පියවර ගෙන තිබෙනවා. පොලිතින් නිදහස් පරිසරය තුළ දහනය කිරීම ද අප තහනම් කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර කලපු ප්‍ර දේශ ආරක්ෂා කිරීම සදහා හොදම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. තිරසර සංවර්ධන අභිමතාර්ථ අත්පත්කර ගැනීම සදහා වෙනම අමාත්‍යාංශයක් බිහිකර ගත් පළමු රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. පරිසර අමාත්‍යවරයා වශයෙන් මම වනරෝපා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ රටේ විනාශ වී ඇති වන අවරණය සියයට 29 සිට 32 දක්වා ඉහළ නැංවීමයි. )

මෙම සංචාරය අතරතුර ජනාධිපතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා මුණගැසීමට ද නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 18:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්