දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමින් ශ්‍රී ලංකා පිළ ඓතිහාසික ජයක් ජයග්රහනයක් වාර්තා කිරීමට අද (23) සමත් වුණා.
ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජය කරන ලද පළමු ආසියානු රට ලෙස සහ ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකාවේදී වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහනය ද මෙය වනවා.
ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ (22) දිනයේදී තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 60 ක් ලබා සිටියා. අද(23) දිනයේ දී තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 137 ක් පමණි.
පෝට් එලිසබෙත්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 222ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 154 ක් පමණයි. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 68 ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ඔවුන්ට දෙවන ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 128ක් පමණයි.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 197ක ඉලක්කයක් හිමි වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 19ක් ද ළහිරු තිරිමාන්න ලකුණු 10ක් ලබා සිටියදී දැවි ගියා. ඉන් පසුව පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ බර කරට ගනිමින් වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළා. ඕෂධ ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරිම විශේෂත්වයක්. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 75ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් ද ලබා ගත්තා.
කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 13ක් ද ඇතුලත්. ටෙස්ට් ඉනිම අටකට පසු කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණිම විශේෂත්වයක්. තරගාවලියේ වීරයා බවට පත් වුණේ කුසල් ජනිත් පෙරේරායි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයට නවක ක්‍රීඩකයින් තුන්දෙනෙකු යොදාගත්තා. මේ හේතුවෙන් බොහෝ විචාරකයන් පෙන්වාදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සිහිනයක් බවයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් පළමු ටෙස්ට් ක්‍රීකට් තරගාවලිය ද මෙයයි. මෙම තරගය අතරතුරදි ලසිත් ඇඹුල්දෙනියගේ අතෙහි පන්දුවක් වැදීමෙන් ඔහුට සති හයක කාලයක් විවේක ගැනිමට සිදුවුණා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට ක්‍රිකට් තරගයට මුහුණ දුන්නේ ක්‍රීඩකයන් 11 දෙනෙකු නොව 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙසටයි. ක්‍රිකට් වංශ කතාවේ කිසිදු රටක් මෙසේ ක්‍රීඩකයින් දහදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ඉනිම දෙකම ක්‍රීඩා කර ටෙස්ට් තරගෙයක් ජයග්‍රහණය කර නැහැ. එමෙන්ම කිසිදු ආසියාතික රටක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරිමට සමත් ව තිබුණේ නැහැ. මෙතෙක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාව හා එංගලන්තය පමණයි.