නවීන තාක්ෂණයත් සමග කෘෂිකර්මාන්තයේ නිරත වෙමින් නව ලෝකය සමග එක් වීමට මෙරට තරුණ ගොවි පරපුරට සියලු ඉඩ ප්රස්ථා විවර කර දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති උත්සවයක් අමතමින්.
මහවැලි බී කලාපය, සී කලාපය හා රඹකැන්ඔය යන කලාපයන් හි වෙසෙන මහවැලි ජානපදිකයින් වෙත ඉඩම් ඔප්පු දොළොස්දහසක් ප්රදානය කිරීමේ උත්සවය දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (15) පෙරවරුවේ පැවැත්වුණා. උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ මහත් හරසරින් යුතුවයි. සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජානපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දොළොස් දහසක් ලබා දීම ඉන් අනතුරුව සිදු කළා. එහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ සාම්ප්‍රදායික ගොවිතැනේ යහපත් පැතිකඩ ආරක්ෂා කිරීම සේම කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය භාවිතයට ගැනීම ද අද අත්‍යවශ්‍ය වී ඇති බවයි.
https://www.facebook.com/itnnews.lk/videos/1904382619690579/
අනතුරුව උත්සව සභාවට එක් වූ ජනාධිපතිතුමා විහාරස්ථාන සඳහා පූජා භූමි ඔප්පු ප්රදානය හා රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ඉඩම් පැවරීමේ සහතික පිරිනැමීම සිදු කළා. 2018 මහවැලි ගොවි අභිෂේකයේ ත්‍යාග ප්රදානය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණේ ඉන් අනතුරුවයි. සමස්ත මහවැලි කලාපවල ගොවි ජනතාව අතර පැවැත්වූ තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් ගොවි මහත්වරුන් 18 දෙනෙකු වෙත සම්මාන හා සහතික පත් පිරිනැමීම මෙහිදී සිදුකෙරුණා. හොඳම මහවැලි මහ ගොවියා, හොඳම මහවැලි ගොවි සංවිධානය, හොඳම මහවැලි කිරි ගොවියා, හොඳම මහවැලි ගෙවත්ත සහ හොඳම වාරි පද්ධතිය යන අංශ කිහිපයක් ඔස්සේ ත්‍යාග හා සම්මාන පිරිනැමීම සිදුකළා.
මෙම වැඩසටහනට සමගාමිම සංවිධාන කර තිබූ ප්‍රදර්ශනය ද විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්.
මේ අතර පොළොන්නරුව දිඹුලාගල නුවරගල මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ නව දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. එහිදී සිසු දරුවන් මහත් සෙනෙහසින් යුතුව විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවා. සමරු ඵලකය නිරාවරණය කර නව විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා. පොළොන්නරුව නව නගරයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩ සිටින පුජ්‍ය ගල්උල්ලේ පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේගේ දෙමව්පියන් වෙනුවෙන් අරලගන්විල කුඩාවැව ප්‍රදේශයේ ඉදිකළ නව නිවස එම දෙමව්පියන් වෙත භාර දීම සඳහා ජනාධිපතිතුමා එක්වුණා. පදිංචියට ස්ථිර නිවසක් නොමැතිව ඉතා දුෂ්කර තත්ත්වයක ජීවත්වූ මෙම දෙමව්පියන් වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පියවර ගත්තේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව තමන්කඩුව විහාරාධිපති සංගමය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමග එක්වයි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව නිවස විවෘත කළ ජනාධිපතිතුමා පැමිණ සිටි පිරිස සමග සුහද කතාබහක ද නිරත වුණා.