ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ලබා දී තිබූ තේරීම් කමිටු සාමාජිකත්වය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා 2017 දෙසැම්බර් 20 වනදා සිට කටයුතු කරනවා. ඔහු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර ඉන් හතරක් ජයගෙන තිබෙනවා. තරග හයක් පරාජයට පත් වී තරග තුනක් ජය පරාජයෙන් තොරවයි අවසන් වී ඇත්තේ. එක් දින තරග විසිඑකකට ක්‍රීඩා කර ඉන් තරග 14 ක්ම පරාජයට පත්ව තිබෙනවා. පන්දුවාර විස්සයි විස්ස තරග නවයකට ක්‍රීඩා කර ඉන් තරග පහක් පරාජයට පත්වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතාට මාසිකව රුපියල් ලක්ෂ හැත්තෑපහකට ආසන්න මුදලක් හා වරප්‍රසාද රැසක් ලබා දෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු මෙතෙක් කලක් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කළා. තරග සංචාරයන්හිදී කණ්ඩායම තෝරා ගනු ලබන්නේ ඔහුගේ කැමැත්ත මතයි. ක්‍රිකට් තේරීම් කමිටුවට තේරීම් සම්බන්ධයෙන් තිබූ බලතල මේ අනුව කප්පාදු වුණා. කෙසේ වෙතත් අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර විශේෂ හමුවක් ඊයේ පවත්වා තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ තේරීම් කටයුතුවලින් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ මහතා ඉවත් කිරීමටයි. තේරීම් කමිටු සාමාජිකයින් කණ්ඩායම් කළමනාකරු හා නායකයා එක්ව ඉදිරියේදී ක්‍රිකට් කණ්ඩායම තේරිය යුතු බවට මෙහිදී තීරණය වී තිබෙනවා. මේ අනුව ඕස්ට්‍රේලියාව සමග ලබන මස පළමුවනදා ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් බලාපොරොත්තු විය හැකි බවයි තේරීම් කමිටු සාමාජිකයෙකු අයිටීඑන් ප්රවෘත්ති අංශය වෙත කියා සිටියේ. කෙසේ වෙතත් දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් හා ලකුණු 40 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.