ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර ජල ක්‍රීඩා හා පිහිනුම් සංගමයෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කළ මහින්ද ලියනගේ මහතා ක්‍රීඩා පනත උල්ංඝනය කර ඇති බව පවසමින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළා.
මෙම ත්‍රිපුද්ගල අතුරු කමිටුව ජාතික හා කණිෂ්ඨ පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලි වලදී ඉදිරි තරගාවලි සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කර තිබෙනවා. ලබන 22 වනදා බැංග්ලෝරයේදී ආරම්භ වීමට නියමිත දකුණු ආසියා පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකු සංචිත ගත කළේ ඒ යටතේයි.
තරගාවලියට එක්වීම සදහා එක් ක්‍රීඩකයකුගෙන් රුපියල් 45000 ක මුදලක් ලබා ගනිමින් මේ වන විට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට අතුරු කමිටුව කටයුතු කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා උපකරණ හා අනෙකුත් පහසුකම්ද සිය පෞද්ගලික මුදලින් තරගාවලිය වෙනුවෙන් මිලදී ගෙන තිබෙනවා.
එහෙත් ජාතික සංගමයට තාවකාලික තහනමක් පැනවීම හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දකුණු ආසියා පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලියට එක්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. ඊට මැදිහත් වන ලෙස ජාතික ඔලිම්පික් කමිටුවට හා ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලීමක් අද දිනයේ සිදු කිරීමට නියමිතයි. මේ පිළිබද පළමු සාකච්ඡාව ඊයේ දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.