Life+News The Official News Portal of Independent Television Network Ltd

මිය නොගිය මිනිසත්කම…

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 14:45

මිය නොගිය මිනිසත්කම…

 අපි ජීවත්වෙන මේ සමාජය තුළ රුපියල් සතවලින් මිල කළ නොහැකි එකම දෙය වන්නේ මනුස්සකමයි. නමුත් මිලක් නැති නිසාම මනුස්සකම ද වඳ වී යන්නට පටන් අරන්. ඒත් මිනිසත්කමේ සැබෑ වටිනාකම දන්නා මිනිසුන් වඳ වෙලා නැහැ කියන්න අපට ශාක්ෂි ගොඩක් තියනවා. ඒ අතරින් එකක් තමයි  ආර්චි ශෙලර්ගේ කතාව.

පසුගිය දෙසැම්බර් 26 වැනි දා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සම නායකත්වය දැරූ ආර්චි ශෙලර් ගැන  මේ වෙද්දී නොදන්නා කෙනෙක් නැහැ. එහෙත් මේ සටහන තබන්නේ ආර්චි ගැනවත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ගැනවත් නෙවෙයි. මේ සිදුවීම ඇතුලේ තියන කලාතුරකින් දකින්නට ලැබෙන මනුස්සකම ගැනයි.

ආර්චි ශෙලර් මෙලොව එළිය දකින්නේ දැනට වසර හතකට ඉහතදීයි. බොහෝ මවුපියන් තම දරුවන්ගේ උපත සමඟ ප්‍රීතියෙන් පිනා යන නමුදු ආර්චිගේ මවුපියන්ට ආර්චිගේ උපත සතුටක් වූයේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වේදනාවෙන් පීඩිත වී ගියේ ආර්චි උපතේ සිටම දක්නට ලැබෙන හදවත් රෝගයකට උරුමකම් කියමින්ම මෙලොව එළිය දුටු නිසයි.

උපත ලබා තුන් මසක් ගත වූ තැන ආර්චිට සිය ප්‍රථම හදවත් සැත්කමට මුහුණ දීමට සිදුවුණා. එතැන් සිට ගතව ගිය වසර හත තුළ ඔහු මුහුණ දුන් සම්පූර්ණ හදවත් සැත්කම් ප්‍රමාණය 13ක්. එහෙත් ආර්චිගේ ජීවිතය තවමත් අවිනිශ්චිතයි. ඒ හදවත් රෝගවල හැටියි. උපතින් ඇති වන ඇතැම් හදවත් රෝග සඳහා මේ තරම් දියුණු තාක්ෂණයක් සහිත ලෝකයේ ප්‍රතිකාර ඇත්තේ නැහැ. එසේ නම් කිනම් මොහොතක හෝ ආර්චිගෙන් තොර ලෝකයක් ගැන හිත හදාගත යුතුයි.

තම සමීපතමයෙකු එක් වරම මිය යෑම එක් දෙයක්. එහෙත් කොයි මොහොතක හෝ ඔහු මිය යෑමට ඉඩ ඇතැයි දැන දැන ජීවිතය ඉදිරියට ගෙන යෑම අතිශයින් අපහසුයි. ආර්චි ශෙලර්ගේ මවුපියන්ට කණගාටුවෙන් වුව ද තෝරාගැනීමට සිදු වූයේ මේ දෙවැනි තේරීමයි. එහෙත් ඒ අතර වුව ද කළ හැකි දේ ඔවුන්ට තිබුණා.ඒ තම ආදරණීය දරුවා හැකිතාක් සතුටෙන් තැබීම, ඔහුගේ සිහින සැබෑ කිරීමට කළ හැකි හැම දෙයම කිරීම ප්‍රධානයි. ඉතින් ආර්චිගේ මවුපියෝ තමන්ට කළ හැකි සෑම දෙයම කිරීමට වෙර දැරුවා.

බහ තෝරන වයසේ සිටම කුඩා ආර්චිගේ සිත් ගත් දෙයක් තිබුණා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවයි. නිරෝගී දරුවකු නොවූ ඔහුට පාසල මඟ හැරී තිබිණු නිසා ඔහුට මිතුරෝ ද හිටියේ නැහැ. තරමක් තේරෙන වයයේ දී ආර්චි කීවේ ලොකු වූ විට තමා කෙදිනක හෝ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වනවා

ඔහු ලොකු මිනිසකු වන තෙක් ජීවත් විය හැකි වේද යන්න අවිනිශ්චිත බව ඔහුගේ මවුපියන් ඔහුට පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඒ තරම්ම අවිනිශ්චිත වන ක්‍රිකට් නායකකම ඔහුට ලබාදීමට ක්‍රමයක් ඇති දැයි ඔවුහු සෙවුවා. සැබවින්ම මේ සිහිනය සැබෑ කරගත හොත් ආර්චිට තමා ‘ලොකු මිනිසකු වූ බව‘ හැඟෙනු ඇතැයිද  තමා ජීවත් වීමෙන් උපයාගැනීමට බලාපොරොත්තු වූ සියල්ල ලබාගත්තා යැයි හැඟීමක් ඔහු තුළ ඇති වනු ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඒ අනුව ඔවුන් තම අරමුණ කරා ගමන් ගන්නට වුණා.

මේ ගෙවෙන්නේ ක්‍රීඩාව ද මිල මුදලින් මනින, මුදල් ඉපයීමේ තවත් එක් පහසු මාර්ගයක් බවට පත්ව ඇති, ක්‍රීඩාවේ මූලික අරමුණු අමතකව ගිය යුගයක් බව යළිත් සිහිපත් කර දිය යුතු නොවේ. ජාතික කණ්ඩායමේ නායකත්වය කෙසේ වෙතත් පාසල් කණ්ඩායමක නායකත්වය ලබාගැනීම වෙනුවෙන් කළ යුතු කැපකිරීම්, දිය යුතු පිදේනි ගැන අමුතුවෙන් මෙහි සටහන් කළ යුතු නොවේ. ඒ බැවින් මේ  ගමන ගොඩක් දුරයි.

මිනිසුන්ගේ සැබෑ කරගත නොහැකි සිහින වෙනුවෙන් පෙනී සිටින නොයෙක් සංවිධාන ද තවමත් පවතිනවා. ඕස්ට්‍රෙලියාවේ Make a Wish පදනම ද එවැනි සංවිධානවලින් එකක්. ඔවුන් ආර්චිගේ මවුපියන්ට සහාය දැක්වීමට ඉදිරිපත් වුණා. ඉන්පසු මේ පිරිස තම අදහස ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ද ඒ සඳහා විරුද්ධත්වයක් නොදැක්වූ බැවින් නොසිතූ තරම් ඉක්මනින් ආර්චි ශෙලර්ට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය එක් දිනක් සඳහා දැරීමේ අවස්ථාව උදා වුණා.

ඒ දිනය ලෙස සටහන් වූයේ 2018 දෙසැම්බර් 26 වැනි දා ලෙසයි. ප්‍රතිවාදීන් වූයේ ඉන්දියා කණ්ඩායමයි. ආර්චිගේ සිරුරේ මිමි අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නිල කබාය සහ සෙසු ක්‍රීඩා ඇඳුම් මැසෙන්නට වුණා. පෙර පුහුණුවීම් සඳහා ආර්චිට ආරාධනා ලැබිණා. මේ සියල්ල ආර්චිට අනුව නම් සිහින පෝලිමක්.

තරගයට සහභාගී වීම සඳහා මෙල්බර්න් වෙත පැමිණීමට ශෙලර් පවුලට සිදු වුණා. ආර්චි මින් පෙර මෙල්බර්න් පැමිණියේ රෝහල්ගත වී සැත්කම්වලට මුහුණ දීමටයි. එබැවින් මෙල්බර්න් පැමිණීම ඔහුට පුදුමයක් වූයේ නැහැ. පුදුමය නම් රෝහල්ගත නොවීමයි. ඒ වෙනුවට ඔහුට ලැබුණේ තම සිහිනයේ ජීවත් වීමටයි.

තරගය ආරම්භ වීමට පෙර සිටම මාධ්‍ය අවධානය ආර්චි වෙත යොමු වූයේ මින් පෙර ක්‍රිකට් පිටියේ මෙවැනි සිදුවීමක් නොදුටු නිසායි. ආර්චි සමඟ වචන කිහිපයක් කතා කිරීමට සමත් වූ මධ්‍යවේදීන්ට ඔහු පැවසූවේ තමා හොඳින් ක්‍රීඩා කරමින් ඉන්දියා නායක විරාත් කෝලි දවා ගැනීමට බලාපොරොත්තු වන බවයි. ආර්චිගේ මේ සහභාගීත්වය ඉත සිතින් ඉවසීමට එකඟව සිටි ඉන්දියා කණ්ඩායමේ නායක කෝලි මේ සඳහා ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ ආර්චිගේ කැමැත්ත එය නම් තම කඩුල්ල ඔහුට පූජා කිරීමට තමන් සතුටු බවයි.

දෙසැම්බර් 26 වැනි දින උදෑසන සිටම ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගොස් තිබුණා. කාසියේ වාසිය උරගෑම සඳහා දෙපිලේම නායකයෝ පිටියට පැමිණ සිටියා. ඒ සමඟ කුඩා ආර්චි ද ඉතා ආඩම්බරයෙන් ඇවිද ආවේ ඕස්ට්‍රේලියා පිලේ සම නායකයා ලෙසයි. කාසියේ වාසිය උරගෑමෙන් පසු තම කණ්ඩායමට පැවසීමට ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් ආර්චි පැවසුවේ ‘හයේ ඒවා ගහන්න, විකට් ගන්න‘ යනුවෙනුයි. එය සැබෑ කෙටි එහෙත් අතිසාර්ථක උපදෙසක්.

සුදු පැහැ ඇඳුමින් සැරසී ක්‍රීඩාගාරයේ සිටිය ද ක්‍රීඩා පිටියට ගොස් ක්‍රීඩා කිරීමට තරම් සෞඛ්‍ය සම්පන්න බවක් ආර්චිට තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ සිත සතුටින් පිරී ගොස් තිබිණා.

‘ඔහු මෙතරම් හිනා වෙනවා මම කවදාවත් දැකලා නැහැ‘ ආර්චිගේ මව පැවසුවේ එහෙමයි. ඇය ද එම දිනය පුරා තම දුක අමතක කර දැම්මා. ‘දැන් හැමදාම එයා නිදියන්නේ එදා පැලඳි කොළ පැහැ තොප්පිය තුරුලු කරගෙන. අපි ඉඩ දෙනවා නම් එදා ඇඳපු කබාය තුරුලු කරගෙනයි ඔහු නිදියන්නේ‘ශෙලර් මහත්මිය මාධ්‍යයට එසේ වැඩිදුරටත් පැවසා තිබුණා.

දෙසැම්බර් 26 වැනි දා මෙල්බර්න් පිටියේ තරගය එසේ පැවතියා. ඉන්දියාව සමඟ පැවති තුන්වැනි ටෙස්ට් තරගය වූ එම තරගයේ ආධිපත්‍ය මේ වන විට ඉන්දියා කණ්ඩායම සතු කරගෙන සිටින බවයි වාර්තා වෙන්නේ. එහෙත් මනුස්සකම අනුව නම් මේ කණ්ඩායම් දෙකම දිනුම්.

ආර්ච් ශෙලර් යනු ද අන් සෑම මිනිස් දරුවකු ලෙසම බලාපොරොත්තු පොදි බැඳගත් කුඩාවෙක්. ජීවිතය ඔහුට අසාධාරණයක් සිදු කළ ද ඔහු ඊට වගකිව යුතු නැහැ. එහෙත් බලාපොරොත්තු සුන්ව වසර සියයක් ජීවත් වුව ද එය වටින්නේ නැහැ. ඒ වෙනුවට බලාපොරොත්තු ඉෂ්ටව සතුටු සිතින් එක් දිනක් ජීවත්ව මිය යෑමට ලැබෙන්නේ නම් ජීවිතය ඇත්තේ එතන නොවේද?

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 14:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්