අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනමක් නිකුත් කළා.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත්කර ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණයේදී අද සිදුකෙරුණු අවස්ථාවේයි අදාළ අතුරු තහනම නිකුත් කෙරුණේ. එය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද අභියානාධිකරණය ප්‍රකාශ කළා. මෙම පෙත්සම සළකා බැලීම අද ආරම්භ කෙරුණේ දෙවන දිනටයි. එහිදී හයවන සහ 13 වන වගඋත්තරකරුවන් එනම් කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා පෙත්සමට එරෙහිව වාචික දේශන ආරම්භ කළා. ඒ මහතා කියාසිටියේ මෙම පෙත්සමට අදාළව අමුණා ඇති විශ්වාසභංගයට අදාළ හැන්සාඩ් පිටපත අවසන් පිටපතක් නොවන බවයි. එය අශෝධිත පිටපතක් බවට ද ඔහු තර්ක කළා. එය ඉදිරියේදී සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින තත්ත්වයක් යටතේ මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිශ්ප්‍රභ කරන ලෙසයි ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටියේ. මෙම පෙත්සම ගොනුකළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය / ජනතා විමුක්ති පෙරමුණ / ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්.