පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාට මෙන්ම සභානායකවරයාට ද සුවිශේෂ කාර්යභාරයක් පැවරී තිබෙනවා. එහෙත් පසුගිය දින කිහිපයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලදී සභානායකවරයා කිසිලෙසකින්වත් මායිම් නොකර කතානායකවරයා ක්රියා කිරීම ද ගැටුම් ඇති වීමට හේතුවක් වුණා.
1931 වසරේ ජූලි මස 10 වනදා පළමු රාජ්ය මන්ත්රණ සභාවේ සභානායකවරයා ලෙස ඩී බී ජයතිලක මහතා පත්වීමේ සිට වර්තමානයේ 8 වන පාර්ලිමේන්තුව දක්වා කීර්තිමත් සභානායකවරුන් රැසක් සේවය කර තිබෙනවා. එම සේවාවන් සිහිපත් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභානායකවරයාව සිටියදී පොත් පිංචක් නිකුත් කෙරුණා. ඒ 2016 වසරේ ජනවාරි 01 වනදායි.
ආණ්ඩුවේ වැඩ කටයුතු සඳහා දින යෝජනා කර එවැනි වැඩ කටයුතුවල ප්රමුඛත්වය ලැබිය යුතු කරුණු තීරණය කරන්නේ ඔහුය යනුවෙන් එම ග්රන්ථයේ දැක්වෙනවා.
එසේ නම් කතානායක කරූ ජයසූරිය මහතා පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට එම රාජකාරි ඉටු කිරීමට ඉඩ ලබා දුන්නේ නැති බව හදිසියේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ දැරීමෙන්ම පැහැදිලි වනවා. පාර්ලිමේන්තු රැස්වීම්වල තාවකාලික වැඩසටහන සකස් කරන්නේ ද සභානායකවරයායි.
එහෙත් සභානායකවරයාට පසුගියදා එම කාර්යය ඉටු කිරීමට ඉඩ ලබා දුන්නේ නැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභානායකවරයාව සිටියදී නිකුත් කළ කෘතියට අනුව සභානායකවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වන අතර ඔහු සියලුම කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගේ නම් යෝජනා කරන තැනැත්තා ද වනවා.
එහෙත් දිනේෂ් ගුණවර්ධන සභානායකවරයාට කාරක සභා සාමාජිකයින් පත් කිරීමට තබා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කිරීමට ද පසුගිය දිනවල ඉඩ නොලැබුණු අයුරු දැන් රටම දන්නා කරුණක්.
මේ අනුව කතානායකවරයාගේ අත්තනෝමතික හා දඩබ්බර ක්රියා පිළිවෙත හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ සභානායකවරයාගේ කාර්යය ද නිසි ලෙස ඉටු කිරීමට බැරි තත්ත්වයක් නිර්මාණය කර අවසන්.
කතානායකවරයාගේ හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව සිදුවන අයුරු ඡන්ද දායකයින් හොඳ හැටි දුටුවා. එහෙත් නොදුටු තවත් කරුණක් වන්නේ විශිෂ්ට පාර්ලිමේන්තු ඉතිහාසයක් පැවති අපේ රටේ පාර්ලිමේන්තුවේ අදාළ නිලධාරීන්ගේ සේවාව කතානායකවරයා හෑල්ලුවට ලක් කිරීමයි.