ශ්‍රී ලංකාවේ විදේශ ව්‍යවහාර මුදල් නිකුතුව සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් නොලත් ශ්‍රේණිගත් කිරීම් හි බී එකේ සිට බී දෙක දක්වා අඩු කිරීමට මූඩි ආයෝජකයන්ගේ සේවාව ඊයේ ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූල ධර්ම නිසි ලෙස පිළිබිඹු කිරීමක් නොවන හෙයින් එය සාධාරණ නොවන බව ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙනවා.
රටේ දේශපාලන ක්ෂේත්රයේ නොබෝදා යම් යම් වර්ධයන් ඇති වුවත් මේ වසරේ ජූනි මාසයේදී මූඩි ශ්‍රේණිගත කිරීමේ තීරණය ගත් දින සිට ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයේ පිරිහීමක් හෝ කිසියම් ප්‍රතිපත්ති අගය පහත වැටීමක් සිදු වී නැතැයි ශ්‍රී ලංකා මහබැංකුව යළි ප්‍රකාශ කරයි. සතුටු දායක වැඩසටහන් කාර්ය සාධනය පදනම් කරගෙන ශ්‍රී ලංකා බලධාරීන් සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදල පස්වෙනි විස්තීරන අරමුදල් පහසුකම් වැඩසටහන් සමාලෝචනයෙන් පසු පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නිලධාරී මට්ටමේ ගිවිසුමකට එළඹ සිටියා. එම එකගත්වය ඔක්තෝම්බර් 29 වෙනි දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා.
දේශපාලන තත්ත්වයේ පැහැදිලි තාවක් ඇතිවන තෙක් වැඩසටහන් සාකච්ඡා දැනට නවතා තිබෙන බවද මහබැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දළ නිල සංචිත ප්‍රමාණය වන ඇමෙරිකා ඩොලර් කෝටි 720 ක ප්‍රමාණය ඉදිරියේ ඇති විදේශ ණය ගෙවීම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වෙයි. මිට අමතරව පූර්වාරක්ෂක පිවරක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විදේශ ව්‍යවහාර මුදල් මාරු පහසුකම් ලබා ගැනීම සදහා මිත්‍ර රටවල මහබැංකු සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමගින් රටේ විදේශ සංචිත අවශ්‍යතා තවදුරටත් ශක්තිමත් වනවා.
විදේශ වනිම අනුපාත අක්‍රමවත් ලෙස ගැලපීම වැලැක්වීම මෙන්ම විදේශ ණය ගෙවීම් කලට වේලාවට සිදු කිරීමට මෙමගින් හැකි වන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එමෙන්ම පඤ්ඤාගෝචර අන්දමින් ගනුලබන මූල්‍ය සහ සාර්ව ආර්ථික ක්‍රියාමාර්ග නිසා විදේශ වෙළද ශේෂයේද වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා. එමගින් විදේශ සංචිවල විනිමය අනුපාතයට සිදුවන පීඩනය අඩුවනවා.
කලට වේලාවට ණය ගෙවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාව එලෙසම පවත්වාගෙන යාම සදහා දැනටමත් විධිවිධාන යොදා ඇතැයිද මහබැංකුව පවසනවා. ලබන වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකා ඩොලර් කෝටි සියයක අන්තර් ජාතික ස්වෛරී බැදුම්කර කල් පිරීමේ වත්කම් සම්බන්ධයෙන් රජයේ වගකීම් ඉටු කිරීම පිනිස හම්බන්තොට වරාය ආයෝජනයෙන් ලැබුණු මුදල් සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය යොදා ආරක්ෂිත අරමුදලක් දැනටමත් පිහිටුවා තිබෙනවා.
එමෙන්ම සක්‍රීය වත්කම් කළමණකාරණ වැඩසටහන මගින් සපයා ඇති අවකාශය මගින් රුපියල් කෝටි 31000 ක් නොඉක්මවන සීමාව මගින් අනාගත ණය සේවා ගෙවීම් සපුරාලීමට අවශ්‍ය මුදල් රැස්කර ගැනීමට සහ අවකාශ සැළසීමක් සිදු වන බව මහබැංකුව පෙන්වා දෙනවා. මේ වසරේ ඉතිරි කාලය තුළ සහ ලබන වසරේ මුල් භාගයේදි ඇමෙරිකා ඩොලර් කෝටි 75 සිට කෝටි සියය දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කිරීම දැන් ඉදිරියට ගෙන ආ අදිරයක පවතින බව ද මහබැංකුව පවසනවා.