ජංගම දුරකථනයේ සංවාදවල පමණට වඩා වේලාවක් රැඳී සිටින යෞවනයන්ගේ නිද්‍රා රටාවට බාධා පැමිණෙන බව කැනඩාවේ මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලයෙහි යොවුන් කණ්ඩායමක් ඇසුරෙන් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. දිනකට පැය දෙකකට වඩා කාලයක් ජංගම දුරකථන සංවාදවල යෙදෙන යෞවනයන් රාත්‍රියේ දී ප්‍රමාණවත් තරම් නින්දක් නොලබන බවත් සුවපත් නින්දකට එමඟින් බාධා ඇති වන බවත් ඒ පර්යේෂණයෙන් අනාවරණය වී තිබුණා.
රාත්‍රී නින්දට පෙර දිගු කලක් ජංගම දුරකථන සංවාදවල යෙදීම සහ අන්තර්ජාලයේ සමාජජාලා වෙබ් අඩවිවල සැරිසැරීම මෙන් ම පරිගණක ක්‍රීඩාවල යෙදීමට යෞවනයන් පුරුදු වී සිටීමෙන් මේ තත්ත්වය උද්ගත වී තිබෙනවා. පමා වී නින්දට යෑමත්, අඛණ්ඩව සුව නින්දක් නොලබා කඩින් කඩ අවදි වීමත්, නින්ද නොයෑමත් හේතුවෙන් මේ යෞවනයෝ විවිධ ශාරීරික හා මානසික ගැටලුවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්වනවා.
වැඩෙන වයසේ පසු වන දරුවන්ගේ සහ යෞවනයන්ගේ ශාරීරික හා මානසික වර්ධනය උදෙසා සුවපත් නින්දක් මහෝපකාරී වන බව එම පර්යේෂණය සිදු කළ ළමා සහ මනෝ වෛද්‍ය විශේෂඥවරු පවසනවා. රාත්රියේදී අවම වශයෙන් පැය අටක්වත් සුවපත් නින්දක් ලැබීම ඉතා වැදගත්. මෙලෙස අඩු නින්දක් ලබන යෞවනයන් ප්‍රමාද වී අවදි වීමත්, දිවා කාලයේ නිදි මත හා අලස ගතියෙන් යුතු වීමත් නිසා ඔවුන්ගේ දෛනික කටයුතු අඩාළ වී තිබෙනවා. නිදිමත, වෙහෙස, මතක ශක්තිය අඩුවීම, අධ්‍යාපන දුබලතා මෙන් ම නිසි පමණට ශරීරය වර්ධනය නොවීම ද මෙවැනි යෞවනයන් කෙරෙන් පළ වූ අනිටු ප්රතිඵලයි. මෙවැනි යෞවනයන් ක්‍රමයෙන් කාංසාව හා මානසික අවපීඩනය (Dipression) වැනි රෝගවලට ගොදුරුවීමේ අවධානම ද වැඩි බව එම පර්යේෂණයෙන් සනාථ වී තිබෙනවා.
නවීන තාක්ෂණය දරුවන් කෙරෙන් ඈත් කළ නොහැකියි. එහෙත් කුඩා කල සිටම වැඩෙන දරුවන්ගේ වයසට සහ මානසික මට්ටමට උචිත වන තරමට තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් එම පර්යේෂණය සිදුකළ පර්යේෂකයොත් දෙමවුපියන්ට අවවාද කරයි. තම දරුවාට ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ ලබාදිය යුත්තේ කවර සීමාවන් යටතේ ද යන්න දෙමවුපියන් දැන සිටිය යුතු යි. ඇතැම් රටවල කුඩා ළමයින්ගේ නිදන කාමරවල ජංගම දුරකථන, පරිගණක රූපවාහිනී හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ තැබීම සපුරා තහනම්. එසේ ම යෞවනයන්ට ද ජංගම දුරකථනය, පරිගණකය හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ භාවිතයේ දී සීමා පැනවීම හෝ දෙමවුපියන්ගේ අධීක්ෂණය යටතේ ඒවා භාවිත කිරීමට සැලැස්විය යුතු බව ද එම පර්යේෂකයෝ තව දුරටත් පවසනවා.
මෙවැනි දරුවෝ අධ්‍යාපනික හා මානසික දුබලතා පමණක් නොව, සමාජීය ගැටලුවලට ද ගොදුරු වනවා. පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් ඇසුරට පවා ප්‍රිය නොකරන, සමාජ සබඳතා ගොඩනඟා ගැනීමේ දුබලතා ද ප්‍රකට කරනවා. නිසි ලෙස සමාජානුයෝජනය නොවූ මෙවැනි යෞවනයන් ඉක්මනින් වරදට පෙලඹීම, ප්‍රකෝපකාරීව සහ සමාජ විරෝධී ආකාරයට හැසිරීම මෙන් ම අභියෝගවලට මුහුණදීමට අපොහොසත් වීම හා පෞරුෂත්වයේ හීනතාවලට ගොදුරුවීමට වැඩි ඉඩක් ඇති බවයි මේ පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙන්නේ.