Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරුරින් දුබල වූ දුලබ මිනිසුන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 13:28

සිරුරින් දුබල වූ දුලබ මිනිසුන්

සුදා චන්ද්‍රන්

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පවුලක 1964 වසරේදී උපන් සුදා චන්ද්‍රන් උත්පත්තියෙන් ආබාධිත තත්ත්වයකට ලක් නොවූවෙක්. මුම්බායි නුවර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කළ ඇය හදිසි අනතුරකට ලක් වීම හේතුවෙන් සිය දකුණු පාදය අහිමි කර ගත්ත ද ඉන්දීය අර්ධද්වීපය තුළ නම ගිය නර්තන ශිල්පිනියක ලෙස කීර්තියට පත්වීමේ භාග්‍යය හිමිකර ගත්තාය.
හින්දි චිත්‍රපටවලටද නර්තනයෙන් දායක වී ඇති සුදා චන්ද්‍රන්ට නර්තන ප්‍රසංග සඳහා ලෝකයේ සෙසු රටවලින්ද  ලැබෙන ආරාධනා බොහෝයි. ඇය මේ සියලු දස්කම් දක්වන්නේ කෘත්‍රිම පාදයක ආධාර ඇතිව බව කිසිවෙකුට විශ්වාසයට ගැනිමට නොහැකි වන තරමටම ඇගේ නර්තනයන් ආකර්ෂණීය ය.

 

මාලා රන්යන්

 

1969 ජනවාරි 4 දා උපන් මාලා රන්යන් ස්ටාර් ගාඩ් රෝගයට ගොදුරු වී අන්ධභාවයට පත් වන කළ නව හැවිරිදි වියේ පසුවූවා ය. මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වේ තෙවරක්ම ඇමෙරිකානු ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් වූ රන්යන් 1992 පැරා ඔලිම්පික් උළෙ‍ලේ දී රන් පදක්කම් හතරකට ද, 1996 පැරා ඔලිම්පික් උළෙ‍ලේ යගුලිය වීසි කිරීමේ අංශය සඳහා රිදී පදක්කමක්, ධාවන අංශයෙන් රන් පදක්කමකටත් හිමිකම් කීවාය. 2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින්, ඔලිම්පික් උළෙලකට
ඉදිරිපත් වුණු පළමු අන්ධ පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටු වූ රන්යන් ඇමෙරිකාවේ පැවැත්වුණු මැරතන් ඇතුළුව විවිධ ධාවන ඉසව් ගණනාවකින්ම ජය හිමි කර ගැනීමට සිය අන්ධභාවය බාධාවක් කර ගත්තේ නැත.

 

ලුඩ්විග් වෑන් බිතෝවන්

 

එදා මෙදාතුර ඉතිහාසයෙන් වාර්තා වන අද්වීතීයම ගණයේ සංගීතඥයකු ලෙස අවිවාදයෙන් සැලකෙන  ලුඩ්විග් වෑන් බිතෝවන් හාපුරා කියා ප්‍රසිද්ධියේ පියානෝ වාදනයක් ඉදිරිපත් කළේ වයස අවුරුදු අටක කාලයේදී ය. එකල විසූ තවත් සුප්‍රකට සංගීතඥයෙකු වන වුල්ෆ්ගැන්ග් මොසාර්ට් යටතේ පුහුණුව ලබමින් සිය සහජ හැකියාව ඔපමට්ටම් කර ගත් බිතෝවන් වයස අවුරුදු විස්ස තරම් ළාබාල අවධියක පසුවන කලද සුවිශිෂ්ට සංගීතඥයෙකු ලෙස කීර්තියට පත්ව සිටියෙකි.
සිය මධුර නාද රටාවන්ගෙන් ලෝකයක් නැලවූ මෙම අසහාය සංගීතඥයා වයස අවුරුදු විසිහයක් වන කළ ක්‍රමයෙන් බිහිරි භාවයට පත්වූයේ ඉතා අවාසනාවන්ත ලෙසය. සංගීතඥයෙකුට සිය ශ්‍රවණ හැකියාව කෙතරම් වටින්නේද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.
සිය කීර්තියේ උච්චස්ථානයට පත්වන කළ තමාට මුහුණ දීමට සිදු වූ මෙම බාධකය හමුවේ සිය ජීවිතය අඳුරු වීමට ඉඩ නොතැබූ බිතෝවන් බිහිරි බව නොතකමින් සංගීතකරණයේ නිරත වූයේ තමාගේ ශ්‍රේෂ්ඨතම සංගීත නිර්මාණයන් එම කාලය තුළදී ලෝකයට දායාද කරමිනි. සංගීතාම්බරයේ ශ්‍රේෂ්ඨතම සංගීත භාණ්ඩ ලෙස අදටද අවිවාදයෙන් ගැළපෙන සම්භාව්‍ය ගණයේ නිර්මාණ සියල්ලම පාහේ බිතෝවන් අතින් නිමැවෙන ලද්දේ ඔහු බිහිරි බවින් පීඩා විඳිමින් ගත කළ ජීවිතයේ අවසන් විසිපස් වසරක කාලය තුළදීය.

 

ෆීරීඩා කාලෝ

සුප්‍රකට මෙක්සිකානු ජාතික චිත්‍ර ශිල්පිනියක වන ෆීරීඩා කාලෝ වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ සිය වේදනාව, දුක, ශෝකය නිරූපණය කරමින් අඳිනු ලැබූ තමාගේම රුව දැක්වෙන සිතුවම් නිසාය. මෙක්සිකානු සංස්කෘතියේ ආභාෂය ලබමින් දීප්තිමත් වර්ණ සංකලනයන් යොදා ගනිමින් සිතුවම් ඇඳි ෆී්‍රඩා කාලෝ විසිවැනි ශතවර්ෂයේ දී ජාත්‍යන්තර කෞතුකාගාරයක් විසින් චිත්‍ර මිලදී ගැනීමට යෙදුණු පළමු මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියයි.
වයස අවුරුදු හයේ ද ‍පෝලියේ රෝගයට ගොදුරු වූ ෆීරීඩා කාලෝ කොඳු ඇට පෙළෙහි හා පාදවල වර්ධනයට බලපෑම් කරන්නා වූ ආජන්මගත රෝගයකින්ද පෙළුණු බවට කියැවෙයි. කාලයත් සමඟ ඇය ‍පෝලියෝ රෝගයෙන් උරුම වූ ආබාධයන් අභිබවමින් ජීවිතය ජය ගැනීමට සමත් වුවද නිරන්තරයෙන්ම දැඩි වේදනාවන්ගෙන් පෙළෙමින් ජීවත් වීමට ඇයට සිදුව තිබිණි.

 

 

ෂෝන් ඩොමිනික් බෝබි  

සුප්‍රකට ප්‍රංශ මාධ්‍යවේදියෙකු, ‍ලේඛකයෙකු මෙන්ම ප්‍රකට ප්‍රංශ විලාසිතා සඟරාවක් වන එ‍ලේහි පළමු
සංස්කාරකවරයා ද වූ ෂෝන් ඩොමිනික් බෝබි 1995 වසරේදී දරුණු හෘදයාබාධයකට ලක්ව දින විස්සක් සිහිසුන්ව පසුවිය. ඔහු නැවත සිහි ලබන ලද්දේ විරල ගණයේ ස්නායු ආබාධයකට ගොදුරු වූවෙකු ලෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මනස සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වුවද, හිසේ සිට දෙපතුළ දක්වා අංශභාගයට ගොදුරුව තිබූ අතර මුළු සිරුරෙන්ම ඔහුට චලනය කිරීමට හැකියාව තිබුණේ වම් ඇහිපිල්ලම පමණකි. එබඳු තත්ත්වයකින් ඇඳටම සීමා වූ ජීවිතයක් ගෙවමින් සිටියදී පවා ‍පොතක් රචනා කිරීමට තරම් බෝබි අතිශය ධෛර්ය සම්පන්න වූවෙකු විය.
ඔහු විසින් රචනා කළ කෘති රචනා කළ ආකාරය ඇසීමට පවා පුදුමය උපදවන්නකි. අකුරින් අකුර එය රචනා කිරීම සඳහා සාහයකයෙකු හට ඉංග්‍රීසි හෝඩිය එක් එක් අකුර වෙනුවෙන් මුල සිට අග දක්වා සෙමින් උච්චාරණය කිරීමට සිදු වූ අතර තමාට කීමට අවශ්‍ය අකුර පැමිණි කළ සිය වම් ඇහිපිල්ලම චලනය කිරීමට පුරුදු වූ බෝබිට සම්පූර්ණ කෘතියම සිය මනස තුළ ගොඩනැගීමටත් මනසින්ම එය සංස්කරණය කිරීමටත් සිදුව තිබිණි. මෙම කෘතිය 1997 මාර්තු 7 දා ප්‍රංශයේදී ප්‍රකාශයට පත් විය.

 

 

ස්ටීවන් හෝකීන්

ජීවිත කතාව තිරයට ද නැගුණු සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යා විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින්ගේ ආබාධිතභාවය ඉක්මවා ගිය බුද්ධි ප්‍රභාව ලෝක ප්‍රසිද්ධියට පත් වූවකි. හතළිස් වසක් පමණ කාලයක සිට විද්‍යාඥයකු ලෙස ප්‍රකටව සිටින හෝකින් රාජකීය කලා සංගමයේද ‍පොන්ටිෆිකල් ඇකඩමි ඔෆ් සයන්ස් හීද යාවජීව සාමාජිකයෙකු වන අතර 2009 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිවිල් වැසියෙකුට පුදනු ලබන ඉහළතම
සම්මානය වන විමුක්තිය උදෙසා වූ ජනපති පදක්කමෙන්ද පිදුම් ලැබූවෙකි.
චාලක ස්නායු සංකූලතාවයේ රෝග ලක්ෂණ හෝකින් වෙතින් මුල්වරට පහළ වන ලද්දේ ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේයි. හිටිවනම සිරුරේ සමබරතාව නැතිවී ගොස් තරප්පු පෙළකින් පෙරළී වැටුණු ඔහුගේ හිස එහිදී තදබල ලෙස බිම ගැටී තිබිණි. සිය බුද්ධියට මෙම අනතුරින් බලපෑමක් වූවාදැයි බිය වූ හෝකින් සිය බුද්ධිය තවමත් සාමාන්‍ය තත්ත්වයේ පවතින බව තහවුරු කර ගැනීම සඳහා බුද්ධිමතුන් වෙනුවෙන්ම ලොව පැවැත්වෙන ජාත්‍යන්තර තරග විභාගයක් වන ‘‘මෙන්සා’’ විභාගයටද ඉදිරිපත් විය.
වයස අවුරුදු 21 දී හෝකින්ස් චාලක ස්නායු රෝගයෙන් පෙළෙන බවට නිගමනය කළ වෛද්‍යවරුන්ගේ විශ්වාසය වූයේ ඔහු තවත් දෙවසරකට වඩා ජීවත් නොවනු ඇති බවයි.
මිය යන විට වයස අවුරුදු හැත්තෑ පහක් වන හෝකින් 2009 වසර වන විට මුළුමනින්ම අංශභාගයට ගොදුරුව සිටි බවත් ඔහුගේ කටහඬ පවා අහිමිව සිටි බවටයි සඳහන් වෙන්නේ.

 

හෙලන් කීලර්

ඇමෙරිකානු ජාතික ගත්කතුවරියක දේශපාලනික ක්‍රියාකාරිනියක මෙන්ම කථිකාචාර්යවරියක ද වූ හෙලන් ඇඩම්ස් කීලර් ශාස්ත්‍රවේදී උපාධියෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම අඳ බිහිරි පුද්ගලයායි. අද්විතීය අන්දමේ හැකියාවකින් හා අසාමාන්‍ය අන්දමේ කැපවීමකින් හෙබි ඇගේ ගුරුතුමිය වූ ඈන් සලිවන් කිසිදු ආකාරයකින් තම සිතුම් පැතුම් සන්නිවේදනය කර ගැනීමට නොහැකිව ලෝකයෙන් හුදකලා වුණු හෙලන්ට භාෂා ඥානය ලබා දීමට සමත් වූ ආකාරය ලොව පුරා අවධානයට ලක් වූයේ ඒ බව එළිදැක්වුණු චිත්‍රපටය නිසාය.
සිය ගුරුතුමිය සමඟ ලොව පුරා සංචාරය කළ හෙලන් කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීම, කම්කරු අයිතීන්, සමාජවාදය යුද්ධය පිටුදැකීම වැනි දෑ සඳහා පුරෝගාමී වී කටයුතු කළ අයෙකි. 1920 දී ඇමෙරිකානු සිවිල් විමුක්ති සංවිධානය පිහිටුවීමටද ඇය ඇප කැප වී ක්‍රියා කළාය.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 13:28
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්