අඩුම වාර ගණනක් පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිල කාලය තුළදී පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ අවස්ථා 2 කදී පමණයි. ඒ මේ වසරේ අප්‍රේල් මස 12 වනදා සිට මැයි මස 8 වනදා තෙක් හා ඔක්තෝබර් මස 27 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වායි. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අවස්ථා 42 කදී වාර අවසන් කිරීම් සිදුවී තිබෙනවා. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වැඩිම වාර ගණනක් වාර අවසන් කළ යුගය ලෙස සටහන් වන්නේ ජේ ආර් ජයවර්ධන මහතා ජනාධිපති ධුරය දැරූ කාලයයි. 1978 වසරේ සිට 1988 දක්වා අවස්ථා 7 කදී ඒ මහතාගේ පාලනය යටතේ පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබෙනවා. මාසය ඉක්ම වූ වාර අවසන් කිරීම් 4 ක් ඊට ඇතුළත්. හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේ අවස්ථා 4 කදී වාර අවසන් කිරීම් සිදුවුණා. ඒ අනුව අවස්ථා 3 කදී මාසයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදී ද අවස්ථා 5 කදී වාර අවසන් කිරීම් සිදුවී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය හෙබ වූ කාල සීමාව තුළදී පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ අවස්ථා 3 කදී පමණයි. අඩුම කාල පරාසයක් වාර අවසන් කර තිබී ඇත්තේ ද රාජපක්ෂ මැතිතුමාගේ නිල කාලයේදීයි. ඒ 2009 වසරේ මැය මස 17 වනදා සිට 19 වනදා දක්වා දින 2 ක කාලයක් සඳහායි. එදා මෙදා තුර ඉතිහාසයේ අඩුම වාර ගණනක් පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.