Life+News The Official News Portal of Independent Television Network Ltd

රූප පෙට්ටියෙන් ප්‍රඥා විපර්යාසයකට ගියෙමි…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 13:14

රූප පෙට්ටියෙන් ප්‍රඥා විපර්යාසයකට ගියෙමි…

ටීවී බලන සත්පුරුෂයන් සතු , ජීවිත සත්‍යය ඇති සැටියෙන් පහදා ගැනුමට අවැසි පරිචයන්ද, ඔවුනගේ පරිණත දැනුම ද අහිමුව, විශාල හීනමානයකින් මා පෙළෙන්නට වූයේ අපේ ගෙදර ටීවී එකක් නැති හෙයිනි. සමාජ සත්වයෙකු වශයෙන් මිනිසාට සිය ජීවන ගමනේදී විඳින්නට සිදුවන සියලු දුක්ගැහැට මැඬලමින් ඉදිරියටම යෑමට අවැසි පරිසාදනය ගොඩනැංවීමෙහිලා රූපවාහිනිය මගින් සිදුවන මෙහෙය මට මොනවට පැහැදිලි වී තිබුණි.

හදේ නැඟෙන්නා වූ චිත්තවේගය, චිත්ත පීඩාව දරාගත නොහැකි තැන, මා සමඟ එකගෙයි කමින් හුන් බයිසිකලයද උකස් තබා ලබා ගත් මුදල් ද ගෙන මම රූපවාහිනියක් මිලදී ගැනීම පිණිස ෂෝ රූම් එකක් වෙත ගියෙමි. ජීවිතේ කරන කියන සෑම දෙයක්ම ඉහළම මට්ටමින් සහ උසස්ම ප්‍රමිතියෙන්ම සිදුකරන බැවින් මිල අඩු කුඩා බාල එකක් මිලදී ගැනුමට සිත් නොදිනි. ඉස්සර ටීවී එකක් ගැනීමේදී අත්පිට මුදල්, උප්පැන්න සහතික, වෛද්‍යය වාර්තා ඉදිරිපත් කරමින් බාල්දු වූ පාරිබෝගිකයා දැන් සේල්ස් මෑන් විහිළුවට ලක්කරන හැටි දැක උපන් පහන් සංවේගයකින් යුතුව මම ඉදිරියට සක්මන් කළෙමි.

කෙළවරේම ටීවී එකේ සයිස් එක අඟල්වලින් දක්වා තිබුණු අතර එය මිලිමීටර්වලට කන්වර්ට් කිරීමේ දී ලැබුණු උත්තරයේ බිංදු ප්‍රමාණය ගැණිය නොහැකි හෙයින් මට ඉගැන්නූ ගුරුවරුන්ට නිඟා නොදී  මුදල් කැසියර් එකට හැලුවෙමි. ඉන්පසුව ආයතන කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීමට සිදු වූයේ එම ආයතනයෙන් අවුරුදු ගණනාවකට පසු අත්පිට මුදලට භාණ්ඩ මිළදී ගත් පුද්ගලයා ලෙස ඉතිහාසගත වෙමිනි.

ඊළඟ ප්‍රශ්නය ඇතිවූයේ සද්දන්ත ටීවී රාජයා ගෙදර ගෙන යාමේදීය. ටීවී එකේ පරිමාවත් මගේ පරිමාවත් ගණනය කර බැලූ තුන් රෝද රථ රියදුරෙකු, මගේ හයර් යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේ විනයගරුක රියදුරෙක් ලෙස මෙවැනි විශාල භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් මගියාත් තමාත් අනතුරට පත්කරගැනීමට සදාචාරාත්මක මෙන්ම නෛතික අයිතියක් ද තමන්ට නොමැති බව පවසමිනි. ඉන්පසු ඩීමෝ බට්ටෙක් තුළ වැඩම වූ ටීවීය,ගෙදර දොරෙන් ඇතුළට ගැනීමට මා දැරූ ප්‍රයත්නය දෙවැනි වූයේ හයිවේ එන්ට්‍රන්ස් එකේ අඩි විස්සේ කන්ටේනරයක් යූ ටර්න් එකක් ගැසීමට පමණි.

සූර්ය රාජයාණෝ අපරදිග අහසේ පෙන්ෂන් යද්දී  මගෙ ගේ තුළ ශට් අප් වූ ටීවී රාජයාණෝ  සිය මහේශාක්‍ය ලීලා දක්වමින් විහිදුවාලූ රශ්මි කදම්බය කෙසේ වීද යත්, එරැස් දැක නොමග ගිය එහා ගෙදර ඇන්ටි බෙරිහන් දෙමින් ඇගේ ළමයන් ඇදෙන් නැගිට්ටවා, ඇදුම් අන්දවා පාසල් යැවීමට සූදානම් වූවාය. උන්ගේ මොඩන් නම්ටික එක දිගට උච්චාරණය කරමින් සිටි ඇන්ටියාගේ සද්ද වැහුනේ හක්ක පැනීම නිසා විය යුතුය.

ටීවී රජාණෝ ශට් අප් වී පැය බාගයක් යාමටත් පෙර මට, මගේ ආයෝජනය ගැන පැහැදී පහන් සිතුවිලි පහළ වන්නට විය. මුලින්ම එතුමා ඉදිරිපත් කළේ ඉතාමත් හාස්‍යජනක චිත්‍රපටියකි. එපමණක් නොව ත්‍රාසය,භීතිය,කුතූහලය,කිචිය සහ ප්‍රීතිය තොග පිටින් තිබුණු, එක්තරා කල්පිත රටක් ගැන කියවුනු එය ඉතා ඉක්මනින් අවසන් විය. අවසානයේ නම් පෙළ දැමූ අතර ඊට කළින් “විදෙස් පුවත්” කියා කිසිසේත්ම අදාළ නැති කෑල්ලක් පෙන්නීමට යෑමෙන් චිත්‍රපටියේ සම්පූර්ණ  හරයම විනාශ විය.

ඊළගට මේ යන්නේ ටෙලි නාට්‍යයක් විය යුතුය.

තමන් මළගෙදරක සිටී යයි වැරදි අදහසක සිටි කාන්තාවක් ඊළගට ඇඬීම පටන් ගත් අතර එය අවසන් කළේ වෙන චැනල් එකක වෙන ගෑණියෙක් පැය දෙකකට පසුය. යම් ප්‍රශ්නයක් ගෙදර ඇති වූ විට පවුලේ උදවියද, නෑදෑයෝද ,ග්‍රාම සේවකද කොටින්ම මේකප් ආටිස් ද පැමිණ සාලය මැද රවුමක් සෑදී එය විසදන අතර, අන්තිමේ හොයා බැලූ විට ප්‍රශ්නය පරිප්පු හොද්දට ලුණු මදිවීම, ඉදලේ ඉරට්ටක් කැඩීම, වත්තේ ඇවිදින විට බලු බෙට්ටක් පෑගීම වැනි දෙයක් විය. අප විසින් සුළු කොට තකන එවැනි ප්‍රශ්නයක් පවා, ඇමෙරිකාව නෝත් කොරියාවේ මිසයිල්ස් ලොකේෂන් හොයන්නාක් මෙන් හෙණ ගේමක් දී විමසන අයුරු දුටු මට ප්‍රඥාවෙන් කොටසක් පහළ විය.

සාරාංශයක් ලෙස කතාවල කපල් එකක් සිටින අතර, උන්ට වින කයින දුශ්ඨයෝද සිටිති. එකී දුශ්ඨයන් උදේ නැගිටගත් වේලාවේ සිට කද්දීත් බොද්දීත් ලැට් එකට යද්දීත් කල්පනා කරන්නේ ගේමක් දෙන හැටි ගැනය. ඒවායේ ප්‍රතිඵල ලෙස ළමයි කිඩ්නැප් වේ. කෑමවලට වස වැටේ. මානව හිමිකම් කවුන්සලයේ පෙත්සම් ගොනුවේ. මේ සියල්ල මැඬලමින් කපල් එක ජයගන්නා බවක් පෙනුණත් එහෙම නැත. එය දැකගත හැකිවනු ඇත්තේ අන්තිම එපිසෝඩ් එක බලන  අපේ මුණුබුරාටය. කෙසේ වුවත් කපල් එකේ නොපසුබට උත්සාහයන් දුටු මගේ ප්‍රඥාවෙන් තවත් කොටසක් පහළ විය.

ටීවී උතුමානෝ වදාරණ කතාවල ගලා යාම අපූරු ය. පෙරකී කිඩ්නැප් වූ ළමයා නැවත ගෙදර ගෙන ඒමේ දී අම්මා හැපින්නක් බවට පත්වේ. එතනින් යන නයි නටවන මිනිහෙක් හැපින්න අල්ලා ගෙන යන අතර ,මිනිහා ළග සිටින වඳුරා ඊට ඔරොප්පු වී පැනයයි. චාල්ස් ඩාවින් පරිණාම වාදය සොයාගන්නේ එම වඳුරා පරීක්ෂා කිරීමෙන් දැයි මට එවිට සිතේ. දවසක ඔප්පු වූයේ නයි නටවන මිනිහා යනු අර හැපින්නගේ අක්කාගේ කලින් කසාදේ මිනිහා බවය. ඒ අක්කා එවකට බලවත්ව උන් ව්‍යාපාරිකයෙක් බංකොලොත් කර අනාත කර දැමීය. පොර දැන් මහ පාරේ අයාලේ යන අතර ඉදහිට නයිද නටවයි. අර හැපින්න අල්ලා ගත්තේත් ඌමය.

මෙසේ ගලා යන කතා දැකීමෙන් මට දැවැන්ත හීනමානයක් සමග ප්‍රඥාව ද මතුවිය. එම කතන්දර ඉන්දියාවේ සූට් කර මෙහෙදී ඩබ් කොට අපිට සූට් කරන බව මම පසුව සොයාගතිමි.

එදා රෑ එළියෙන් ඇසුණු අඩි සද්දයක් පසුපස ගොස් මම ගැසූ පොලු පාරෙන් ඔලුව පලාගත් පුද්ගලයා ,ම්නිස්සු උන්ගේම ටෙලි බලන්නේදැයි සොයා බලා තෑගි දීමට එක්තරා ටීවී චැනල් එකකින් එවන එකෙක් බව මම දැනගත්තේ නිවුස්වලිනි.

පහුවදා උදේම මිරිස් නැතුව මිරිස් හොද්දක් හදාගන්නා හැටි ඉගෙන ගත් මා ඉන්පසු එක්තරා පෙත්තක් නොගැසුවහොත් අනිත් අය ද මා මෙන්ම විරූපී වන බව දැනගත්තෙමි. මගේ මොළයේ නියුරෝන හිඟ කම සහ දත්වල හිමෝග්ලොබින් නැති වීම, දාඩිය ගඳ හැමීම කාලයක්ම මට තිබෙන ප්‍රශ්නයක් බව ටීවී ඇඩ් එකක් පහදා දෙන තෙක් මම දැනන් උන්නේ නැත. මස්තබාල්දු නොවීමට අර කිරි බීමට අවශ්‍ය බවද, තේ එකක් බී එහි මණ්ඩි ටික තැපැල් කර යැවීමෙන් ලංකාවටම එක කාර් එකක් ලැබෙන බව ද මම දැන ගතිමි. කොටින්ම මොළයේ ප්‍රඥා විපර්‍යාසයක් ඇති විය.

ඒ ප්‍රඥාව නිසා ඔළුවත් බර වුණු නිසා මම දැන් ඇවිදින්නේත් ඇලේටය. මම දැන් ඉන්දියන් ක්‍රමයට කමි. අදිමි. නාමි .ලැට් යමි. මමත් දැන් ශ්‍රී ලාංකික නොවීමෙන් අනිත් ශ්‍රී ලාංකිකයන්ටම සමානය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මගේය. ලෝකේ ලස්සනම කාන්තාවන් ඉන්දියන් වන අතර හින්දුස්ථාන් සින්දාබාත් වේ.

 

මක්නිසාද යත් මා දැන් ඉන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ගොස් නිසාය!

 

-ශානිකා රත්නායක-

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 13:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්