Life+News The Official News Portal of Independent Television Network Ltd

සඳකිඳුරා මියගියා…ගමට එන්න නංගියේ…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 14:03

සඳකිඳුරා මියගියා…ගමට එන්න නංගියේ…

සිංහල සුභාවිත ගීය කෙරෙහි බෞද්ධ දර්ශනයෙන් ලද බලපෑම සුළුපටු නොවෙයි. ඒ තුළින් පෝෂණය ලද සිංහල සාහිත්‍ය වුවද කෙතරම් රසසාර හා බරසාර දැයි යන්න නැවත කිව යුතු නොවේ. ඉතින් අද ගීයක අරුත වෙතට මා මේ තෝරන ගීය ද එවැන්නකි.

සඳකිඳුරා මියගියා, ගමට එන්න නංගියේ….

ගීතයට පෙරවදනක් ලෙසින් මෙම ගීතයට මෙන්ම තවත් බොහෝමයක් රසවත් ගීත රාශියකට සම්බන්ධ කරගත් සඳකිඳුරු ජාතකය පිළිබඳ කෙටි ආවර්ජනයක් කිරීම සුදුසු යැයි මට හැඟෙයි.

බරනැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයකි. දිනක් රජු හා පිරිවර හිමාලවනයට පිවිසෙන්නේ විනෝදය සඳහා දඩකෙලියේ යෙදීමටයි. ඉක්බිති රජු හා පිරිස මද දුරක් වනයට පිවිසෙද්දී දකින්නේ ආශ්වාද ජනක, ප්‍රිය උපදවන දසුනක්. ඒ බොහොමත්ම පෙමින් බැඳී සිටින චන්න කින්නර යුවළකි. මේ සඳකිඳුරු යුවළගේ රූ ස්භාවය අතිශය පියකරු එකක් වෙයි. (මෙහි සඳ කිදුරියගේ රූ ශ්‍රියාව පිළිබඳ බොහොම මිහිරි වර්ණනා බෞද්ධ සාහිත්‍ය තුළින් සොයාගන්න  පුළුවන්) සඳකිඳුරිය දුටු පමණින් රජුට ඇය කෙරෙහි සිතක් පහළ වෙයි. රජු විසින් එවිට කරන්නේ විස පෙවූ හීයක් ගෙන සඳකිදුරා වෙත එල්ල කිරීමයි.

එහි විස නිසා සිහිසුන් වන සඳකිදුරා බදාගෙන කිඳුරිය හඬන්නට වෙයි. එවිට රජු පැමිණ ඇයට සියලු සැප සම්පත් වරදාන ප්‍රදානය කරන බව පවසා ඇයට තම අග මෙහෙසිය වන ලෙසින් ආරාධනා ගෙනෙයි. නමුත් කින්නරාවිය හැඬූ කඳුලින් යුතුව එය ප්‍රතික්ශේප කරයි. මා ද මරා දමා මිස ඔබට මා හිමි කර ගත නොහැකී. යැයි ඇය රජුට පවසයි. පසුව සිදු වූ සියල්ලටම කම්පනයට පත් රජු එතනින් නික්ම යයි.

පසුව කින්නරාවිය විසින් තමන් සඳකිඳුරා වෙත පෑ පතිවත සැබෑවක් නම් ඔහු සුව වේවා යැයි සත්‍යක්‍රියා කරන්නට යෙදෙයි. මෙය දකින සක් දෙවිඳුන් බමුණු වෙසින්  පැමිණ සඳකිඳුරා සුවපත් කරන අතර ඉන් පසුව කිඳුරු යුවළ සඳගිරි පවුව නම් ප්‍රදේ්ශය වෙත පලා ගොස් ඉතාමත් සතුටින් දිවි ගෙවූ බව සඳහන් වෙනවා.

ඉතින් මේ ජාතක කථාව කලා නිර්මාණයන්ට ආදේශ කරගත් අවස්ථා බොහෝමයක් තියනවා. සිංහල නාඩගම් සම්ප්‍රදාය තුළද සඳකිඳුරු නාඩගම නම් ඉන් එකක් වෙයි. ග්‍රාමීයව අදට වුවද මෙම නාඩගම රඟ දැක්වෙන අවස්ථා නැතුවා නොවෙයි. කෙසේ වෙතත් ඒ හා සමගාමීව මා මේ ගෙනෙන ගීතයේ ද හරය ගලා යන අතිශය සංවේදී වර්මාතන කථා පුවතක් හරහායි. එය සැකෙවින් මෙසේය.

සඳකිඳුරු නාඩගම නම් නාට්‍ය අංගයේ ප්‍රධාන චරිත දෙක, එනම් සඳකිඳුරා හා කිඳුරිය ගේ චරිතවලට පණ පොවන යුවළකගේ සැබෑ ජීවිතය ඔස්සේ මේ කථාව ගලා යයි. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතය තුළද පෙම්වතුන් වෙයි. දිනක් එක්තරා ග්‍රාමයක ඔවුන් සඳකිඳුරු නාඩගම රඟ දක්වන්නට වෙයි. මෙහිදී කිඳුරිය ලෙසින් රඟන තරුණියගේ දක්ෂතාව හා රූප ස්භාවය නෙත ගැටෙන්නේ එහි පැමිණි කලා අධ්‍යක්ෂවරයෙකු හටයි. රඟදැක්වීම අවසානයේ ඔහු තරුණියට ජනප්‍රිය කලා ක්ශේත්‍රයට පැමිණීමට ඇරයුම් ගෙනෙයි. ඇය විසින් එය බොහොම සතුටින් පිළිගෙන නගරය වෙත පිවිසෙයි. නමුත් කාලය ගෙවෙත්ම ජනප්‍රියත්වය නම් රැල්ල තුළ මෙම තරුණියගේ ආත්මය හා තම වටිනාකම් මුදල වෙත ලංසු වන්නේ් අතිශය වචංනික වූ ලෙසකිනුයි. ඉතින් මේ බව දැනගන්නට ලැබෙන පෙම්වතාගේ ශෝකී හැඟීම පිළිබඳව ගීතය තුළ කථිකා කරන්නට යෙදෙයි.

 

සඳකිඳුරා මියගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කළා….

 

සඳකිඳුරා මිය ගොසිනි. එය ඇත්තෙන්ම මෙම තරුණයාගේ භෞතික මරණයකට වඩා ආත්මීය මරණයක් බව මගේ අදහසයි. කෙසේ නමුත් නාඩගමක් ලෙස සඳ කිඳුරු ජාතකය රඟ දැක්වීමට බොහෝ විට යොදා ගන්නේ පසළොස්වක පොහොය දවසක්. මෙහිදී තරුණයා අවසාන වශයෙන් තම පෙම්වතිය හා සඳ කිඳුරු ජාතකය රඟදැක්වූ මොහොත සිහිකරනවා වැනියි. එහිදී ජාතක කථාව තුළ සඳකිඳුරා කිඳුරියගේ පතිවත බලෙන් නැවත ප්‍රාණය ලැබුවත් සැබැ දිවියේදී ගෙවෙන සෑම තත්පරයක් තුළ පවා ඔහුගේ ආත්මය මියදීමට ඇගේ චපල බව ප්‍රමාණවත් වූ සෙයකි. කෙසේ නමුත් ඔහු ඇය වෙත සදාකල් දක්වන දයාව සෙනෙහස, අනුකම්පාව තවමත් නොඅඩුය. එය ඇයට නැවත එන ලෙස කරන ආරාධනය තුළ තුළ වටහා ගන්න පුළුවන්. එසේම ගීතයේ නංගියේ යන ආමන්ත්‍රණය තුළ ඔහුගේ වන සංශුද්ධ වූ සිතුවිලිවල ලෙංගතු බව කියා පාන බව මගේ අදහසයි.

 

ගමේ නාඩගංපොළේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්ට
කොළොම්තොටට ඉගිළුනා
කණකෙකිනිය ගමට ඇවිත්

ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා….

 

ඔහු හා අතීතයේ දිනක ගමේ නාඩගම්පොළේ රැඟූ ඇය ඒ පිහිටෙන්ම කොලොම්තොටට ගොඩවන්නට වරම් ලබන්නට විය. එය පසුව කාසි කොල සමඟ ජනප්‍රිය රැල්ල පසුපස හඹායාමට තරම්  ඛේදනීය වූ බව ගීතය තුළ මතුකරන්නේ ඉතාම සුමට අයුරිනි. එසේම එහි කණකෙකිනියක් ගැන කියවෙයි. කණකොකා යනු එතරම් ශුභ පල ගෙනෙන සත්වයෙකු නොවන බවට සිංහල ජන සමාජය තුළ මතයක් පවතී. කණකොකෙකුගේ හඬලෑම එතරම් ප්‍රිය උපදවන මිහිරි හඬක් නොවෙයි. එලෙසින්ම එය අශුභ පෙර නිමිත්තක් ලෙස ගැනෙයි. මෙහිද එලෙසින් කණකෙකිනියකට උපමා කරන්නේ කොළඹ සිට පැමිණි පෙර කී තරුණියගේ මිතුරියකටයි. ඇගේ මේ මිතුරිය ඇය පිළිබඳව සියලු තතු ඔහු වෙත හෙළිකිරීම ඔහුගේ ජීවිතයේ කණකොකා හැඬීමක් වැනිය.

 

වෙල් දෙණි ඕවිටි පුරා
තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා
ළය දැදුරුව මියගියා
කණ කෙකිනිය අඩන්නෙ නෑ

ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා…….

 

ගීතයේ මෙම කොටස තුළද මතු කරන්නේ තරුණයාගේ නැතිනම් කින්නරාගේ මනෝභාවයන්ගේ කඩාවැටීමයි. තරුණිය වෙන්ව ගිය පසු ඔහු ගෙවූ තනිකඩ දිවිය ගැනත් ඇය ගැන මේ මොහොතේ අසන්නට වූ ගතු නිසා ඔහුගේ සිතුවිලිවල අතිශය ශෝඛාකූල ප්‍රකම්පනයත් මේ ඔස්සේ ගලා යයි. එසේම කණකෙකිනිය කින්නරා වෙනුවෙන් නොහඬන්නේ කින්නරාවියගේ ආත්මීය කඩාවැටීම ඊට වඩා ප්‍රබල වූ නිසා වන්නට ඇත. එහිදී ඇතැම්විට කණකෙකිනිය තමන්ගේ ආත්මය වෙන්දේසියේ තැබූ මිතුරිය පිළිබඳ වුවමනාවටත් වඩා හඬන්නට ඇතැයි මට සිතෙයි.

 

මේ සංවේදී දීරඝ කථාව පද වැල් අතර ගොනු කරන්නේ ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මහතායි. සංගීත දායකත්වය සපයන්නේ විශාරද ගුණදාස කපුගේ මහතා විසිනි. හඬ දායකත්වය ජානක වික්‍රමසිංහ මහතා විසිනි.

ගීතය වෙත.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 14:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්