මේ අවුරුද්ද එක්තරා මලයාලම් තරුවකට විශේෂිත වූ වසරක්. ඔහු අතිශය කඩවසම්. රංගනයට අති දක්ෂයෙක්. ඔහු සෑම නිර්මාණයකම පාහේ ඔහුගේ චරිත නිරූපණය සිදු කරන්නේ කිසිදු කලබලයකින් තොරවයි. සියුම් රංගන විලාසයක් ඔහු සතු යි.ඔහුගේ පියා ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක්. නමුත් පියාගෙ හෙවනැල්ලට සිය දක්ෂතාව වැසී යන්නට ඉඩ නොතැබූ ඔහු අහවලාගේ පුතා ය යන්න සිය නමට මුලින් හෝ අගින් ඈඳා ගත්තේ නැත. ඔහු සිය හැකියාවෙන්ම ගමන යන අති දක්ෂ, කඩවසම්, මල්ටි ටැලන්ටඩ් නළුවෙකි. නමින් Dulqul Salman ය.
ඔහුගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය “Kawrawaan”, මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය Akarsh Khurana විසිනුයි. නියත වශයෙන්ම මේ වසරේ සිනමාලෝලී සියල්ලන්ටම නැරැඹීමට ලැබෙන සුන්දරම සිනමාපටයක්.
නිර්මාණයේ ප්‍රධාන චරිත තුනකි. Debutante Dulqur. අති දක්ෂ දැවැන්තයා Irfan Khan. සුන්දර, දක්ෂ යුවතිය Mithila Palkar.සියල්ලෝම එකිනෙකාට දෙවැනි නොවන සේ සිදුකරනු ලබන රංගන කාර්යය නම් ප්‍රශංසනීය යි. අත්දැකීමෙන් පෘථුල ඉර්ෆාන් ඛාන් නවකයන් දෙදෙනා හා පිටපතෙහි හැසිරෙන්නේ වයස්වල තිබෙනා පරතරය කිසිදු අයුරකින් ගැටලුවක් කර නොගෙන යි.
සිය අවකාශය තුළ එක්තරා ආකාරයකට තනි වී අතරමංව සිටිනා ආත්ම තුනක් (පුදගලයන් තිදෙනෙක්) සිය ජීවිතවල අරමුණ සොයා ගැනීම. මුළුමනින්ම අහඹු සිදුවීමක් වුවත් ඔවුන්ගේ ජීවිතවල ගලා යෑම ප්‍රාණවත් වෙන මුණ ගැසීමක්. එක්තරා ආකාරයකට සිදු වෙන ජීවිතය සොයා ගෙන යෑමක්. ළබැඳියන් හා ගෙවුනු මිහිරි අමිහිරි අත්දැකීම් වලින් පන්නරයක් ලබා සිය ජීවිත තුළ ජීවත් වීම ආරම්භ කරන ත්‍රිපුද්ගල සංචාරයක්, “Karwaan” මුළුමනින්ම සුන්දරත්වයෙන් සපිරුණු සිනමා කාව්‍යයක්.
දුල්කර්ගේ හින්දි සිනමාවේ පළමු චිත්‍රපට රංගන අත් දැකීම ,කිසිදු අනාගැනීමකින් තොරව අතිදක්ෂ චරිත නිරූපණය මට මතක් කරලූ යේ කොලිවුඩ් දක්ෂයා Dhanushවයි. ඔහුගේ Ranjana හී රංගනය එහෙම එකකි. දුල්කර් දකුණු ඉන්දීය සිනමාවෙන් නළුවෙකු ලෙස සිදු කරනු ලැබූ බොලිවුඩ් සිනමාවතරණය 100% න් සාර්ථක කර ගෙන හමාර ය.
ඔහුගේ රංගනයේ පවතින සුවිශේෂී බව වනු යේ, ඔහු කිසිදු කලබල ගතියක් එකදු නිර්මාණයක් හෝ නොපෙන්වීමයි. එනම් ආයාසයෙන් ඔහු රඟ නොපෑම යි. සරලවම ඔහු රඟපානවා යැයි ප්‍රේක්ෂකයාට නොපෙන්වීම යි. ඊට හෙතුව ඔහු එම චරිත තුළ ජීවත් වීමයි. ඔහු ගේ රංගන පරිණතිය සිනමා නිර්මාණ ප්‍රමාණය ප්රාමාණිකව අවම වුවත් පුළුල් පරාසයක විහිදෙ යි. මේ ඉන්දීය සිනමාවේ හොඳම තරුණ නළුවන් අතරින් එකෙකි.ඒ බව අවිවාදිත යි යන්න යි මගේ හැඟීම.
ඉර්ෆාන් ඛාන්, දැවැන්තයා…සියුම් ලෙස පිටපත තුළ හැසිරෙන ප්‍රවීනයා…නවකයන්ට ඔහු හා රංගනයේ යෙදීම අපහසුවක් නොවන්නට ඇත. සිතෙන්නේ එලෙසයි මට. හේතුව ප්‍රධාන චරිත ත්‍රිත්වය අතරේ බන්ධුතාවයේ හිල් නොමැත. ගලා යෑමට හානියක් සිදු වී නොමැත. කිසිවෙකුගෙන් ආධුනික බවක් නිරූපණය නොවේ. එයට පැහැදිලිවම මේ ප්‍රවීණයාගේ දායකත්වය තිරය පිටුපස දී මහඟු ලෙස දායක වෙන්නට ඇත. ප්‍රහසනය වචන දෙක තුනකින් ප්‍රේක්ෂකාගාරයට මුදා හරින මේ චරිතාංග නළුවා වයස 35 මැදි වයසේ පසු වන්නෙක් ලෙස හැඟේ..එතරමට ඔහු සිය චරිතයට අනුගත වී තිබේ.
මිතිකා පල්කර්, මා ඇයව දකින්නේ පළමු වැනි වතාවට ය. වයස 25ක් වන මේ තරුණිය රංගන හැකියාව උපතින් රැගෙන එන්නට ඇත. අති දක්ෂ නළුවන් දෙදෙනෙකුට අතර මැදිව චරිත අතර තිබෙන බන්ධුතාව කිසි විටෙක් බිඳ නොගෙන ඈ ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන භාව ඇයට සිනමාව තුළ පැහැදිලි දැවැන්ත ගමනක් උරුම බව කියා පායි. වගකීම් විරහිත තරුණ කෙල්ලකගේ තැන සිට ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්නට පෙලැඹෙන තරුණියක ගේ චරිතය එයට අනුගත වෙමින් ඈ නිරූපණය කරන්නේ අනෙක් දැවැන්තයන් දෙදෙනා හා සමව පිටපතෙහි හැසිරෙමිනි.
පිරිමියෙකුට ගැහැණියක පිළිබඳ ප්‍රේමයක් හට ගන්ට මිලි තත්පර ගණනක හමුවීමක් ප්‍රමාණවත්. එහි මනෝ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව හෝ ලිංගික පැතිකඩ පිළිබඳව කියන්නට කිසිවක් මා නොදනිමි. නමුත් ඒ ප්‍රේමය යි. අවම වශයෙන් මිනිත්තු කිහිපයක් හෝ විඳිය හැකි ප්‍රේමය යි.
කතාව පිළිබඳව කියන්නට ඇත්තේ වචන දෙකකි..මේ “සිනමා කාව්‍යයකි”. ප්‍රේක්ෂකයාට සුබවාදීව සිතන්නට පෙරැත්ත කරනා,උත්ප්‍රේරණීය සිනමා නිර්මාණයකි.පිටපත හා දෙබස් නිර්මාණය රාමුවෙන් රාමුවට උද්දීපනය කරයි. සංගීතය හා ගීත සිනමා නිර්මාණයට එක් කරන්නේ අතිශය සුන්දර බවකි. කැමරාව හැසිරවීම සිනමා රූපී වූයේ වතාවක දි දෙවතාවකදි නොවේ..මුළු සිනමාපටය පුරාවටම සුන්දර රූප රාමු, සිනෙමැටික් පසුතල, Karwaan සුවිශේෂී නිර්මාණයක් බවට පත්කරලයි.
එක් දර්ශනයක් පැවතියා, දුල්කර් මිතිහා හා රෝහලේ බංකුවක ඈඳි ගෙන සිටින. ඔවුන් දෙදෙනා හා අතර මැද අසුනේ ඇයගේ බෑගය විය. ඒ රාමුවේ වෙන කිසිදු දෙයක් නැත. ඔවුන් දෙදෙනා හා බෑගය පමණි. බෑගය ඇයගේ ය. ඒ අවස්තාවේ වර්ණ,ආලෝකය රෝමාන්තික ය. නැති නම් වෙන යම් භාවයක් ප්‍රකාශිත ය. ඒ තැන සිනමා නිර්මාණයේ හොඳම සිනමාරූපී දර්ශනයන් 10න් එකකි. තවත් තැනකි පාලම ! චරිත් ත්‍රිත්වයම කිසි යම් වූ එකඟතාවකට පැමිණෙන. එය මතුපිටින් පෙන්වන්නේ නැත.
මෙලෙසින් මේ නිර්මාණය පුරාවටම පැවතියේ අමුතුම ලස්සනකි. කාව්‍යමය බවකි.මේ නම් මේ වසරේ දී සිනමාලෝලි ඔබට නරඹන්නට ලැබෙන අතිශය සුන්දරම නිර්මාණයක්.අධ්‍යක්ෂකවරයා සිය කාර්යය ඒ තරමටම සාර්ථකව සිදු කොට ඇත. සියලු ප්‍රශංසා ඔහු සතු ය.
නුදුරේදීම ලොව පුරා තිරගතවීමට නියමිත Karwaan නැවුම් සිනමා නිර්මාණයක පහස ලබන්ට රිසි සියල්ලෝම නැරැඹිය යුතුම සිනමා කාව්‍යයක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/IUCeN7kelXs?t=3″]