Life+News The Official News Portal of Independent Television Network Ltd

නම්බුකාර සිඟාකෑම මුවාවෙන් සමාජය රවටන වංචනිකයෝ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 15:45

නම්බුකාර සිඟාකෑම මුවාවෙන් සමාජය රවටන වංචනිකයෝ

“මේ බස් එක ගමනාරම්භ කරන්න තව විනාඩි දහයක් තියෙනවා. ඊට කලින් තමුන්නාන්සේලාගේ අවසරයෙන් මට පුංචි කාරණයක් කියන්න ඉඩ දෙන්න. මම තමුන්නාසේලා හැමෝම දන්න …. ජාත්‍යන්තර සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂකවරයෙක්. මම අද තමුන්නා‍න්සේලා හමුවට ආවේ විශේෂ කාරණයක් මුල්කරගෙන. මගේ නෝනා …. ඉන්ටර්නැෂනල්’ සමාගමේ එකවුන්ටන්ට් කෙනෙක්. අපිට අවුරුදු දෙකක සුරංගනාවියක් වගේ ලස්සන දුවක් සිටිනවා. අපේ දුවට මීට අවුරුද්දකට කලින් දරුණු ලේ පිළිකා රෝගයක් වැළඳුණා. මුලදී ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ගත්තා. නමුත් ඒ ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් නැති නිසා අපි දුවව එංගලන්තයටත් අරගෙන ගියා. එතනදී අපිට හරි පුදුම සිද්ධියකට මුහුණ දෙන්න වුණා.  

අපි ආපහු එන ගමනේ දී ඉන්දියාවෙන් ආපු සන්නාසියෙක් ගැට්වික් ගුවන්තොටුපළේදී මුණගැහුනා. ඒ සංන්නාසියා අපිට කීවේ ඉන්දියාවේ පෙරුම්බුදුර්වල තියෙන කෝවිලට අරගෙන ගිහින් බාරයක් වෙන්න කියලා. එත‍කොට දරුවාගේ අසනීපය හොඳකරන්න පුළුවන්නම් අපිට ඒ වෙලාවෙම දැනගන්න ලැබෙයි කියලා. කොහොම හරි අපි ඊළඟ සතියේම දරුවව ඒ ඉන්දියාවේ කෝවිලටත් අරගෙන ගියා. එතනදී ඒ නායක පූජක තුමා අපිට කීවා බාරයක් වෙන්න පුළුවන්නම් දුවගේ අසනීපේ එහෙම්පිටින්ම සුවකරන්න පුළුවන් කියලා. හැබැයි ඒ බාරය ඔප්පු කරන එක බරපතලයි කිව්වා.‍ මෙම පුද්ගලයා මෙසේ කියත්ම බසයේ සිටි සියලු දෙනාගේ අවධානය ඔහු වෙතට යොමුවනු පෙනිණ. ඉන්පසු ඔහු වැඩිදුරටත් කීවේ එහි නායක පූජකයා තමන්ට කී කතාවක් පිළිබඳවයි.

ඒ පූජකතුමා කීවා දුවට මේවගේ අසනීපයක් හැදිලා තියෙන්නේ මාත් නෝනත් පෙර සංසාරයේ කරපු මහ බරපතල පාපකර්ම නිසා කියලා. ඒ පාපයෙන් අත්මිදෙන්න නම් මම හරි නෝන හරි අපේ රටේ මහ මඟ හිඟා කාලා ගන්න මුදල්වලින් රන් පිළිමයක් හදලා ඒ කෝවිලට පූජා කරන්න කියලා. කොහොම හරි අපි ඒ බාරය වුණාට පස්සේ දුවගේ අසනීපය පුදුම විදිහට සුව වෙන්ඩ පටන් ගත්ත බව අපිට වැටහුණා. දැන් අපි කොහොම හරි මේ බාරය ඉෂ්ඨ කරන්න ඕනේ. නැත්නම් අපේ දරුවව අපිට නැති වෙනවා. (ඔහු මෙසේ කියා මඳක් නිහඬව සිටි‍යේ තම හැඟීම් ආවේග පාලනය කර ගැනීමට නොහැකි වගක් අගවමිනි) මගේ නෝනත් මේ වෙන කොට සල්ලි හොයන එක ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ බාරය ඔප්පු කරන්න අපි රුපියල් ලක්‍ෂ 12 ක් හොයාගෙන තියෙනවා ඉතුරු ලක්‍ෂ 08 හොයන්න තමයි අපේ  රැකියා පවා අතහැරලා මේ විදිහට ඔබ හමුවට ආවේ”

මේ මීට දින කිහිපයකට පෙර මාතර බස්නැවතුමෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බසයකට නැඟුණු වයස අවුරුදු 40ක් පමණ වන මනා ආරෝහ පරිණාහ සම්පත්තියකින් යුත් හොඳින් හැඳ පැළඳ ගත් පුද්ගලයෙක් බසයේ ඉදිරිපස දොරටුවෙන් බසයට පිවිසි  බසයේ සිටි සියල්ලන් අමතා ඔහු ඉතා පැහැදිළි ලෙසින් ඇරඹීය  සිදුකළ කතාවක්.

කෙසේ හෝ ඔහුගේ මේ කතාව අවසානයේ විනාඩි 10ක කාලයක් තුළ එම බස් රථයෙන් පමණක් රුපියල් දහසක වැනි මුදලක් ඔහුට උපයාගත හැකි බව මට වැටහිණ.

ඔහුගේ එම කතාව යන අතරේම මම ඔහු කිවූ  ඉන්දියාවේ කෝවිල පිළිබඳව ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය ඔස්සේ  විමසීමක් කළෙමි. එහිදී ඔහු කී එම කෝවිල සම්බන්ධ කිසිදු හාස්කමක් පිළිබඳව එහි සඳහන්ව නොතිබූ අතර 1991දී හිටපු ඉන්දීය අගමැති ඝාතනය ලක්වූයේ එහිදී බව එහි සඳහන් විය. එමෙන්ම ඔහු අසනීපය ඇරඹුණු කාලය සහ එම බාරය ඔප්පු කිරීමට පටන් ගත් බව පැවසුණු කාලය අනුව වුව ඔහුට එතරම් මුදලක් උපයාගත හැකිවීම පිළිබඳව ද මා තුළ සැකයක් ඇති විය. මා අවසා‍නයේ ඔහු සහ ඔහුගේ බිරිඳ සේවය කරන බව කී සමාගම් පිළිබඳව ද අන්තර්ජාලයෙන් තොරතුරු විමසා බැලුවෙමි. එහෙත් එවැනි ආයතන පිළිබඳ තොරතුරු කිසිවක් අන්තර්ජාලයේ සටහන්ව නොතිබුණි.

මේ අතර කිසියම් රෝග සුවයක් මුල්කොට ප්‍රධාන පූජකතුමකුගේ නියමයෙන් ඒ සඳහා පූජාවක් කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ –  මීගමුව ප්‍රධාන මාර්ගයේ බස් රථවලට නඟින තරුණයෙකු ද මීට පෙර මගේ අවධානයට යොමුවී තිබේ. ඔහු කෙතරම් සටකපට ලෙස මෙය සිදුකරන්නේ  ද යත් එම මුදල් තමන්ට ඇල්ලීමටවත් වරම් නොමැති බව කියමින් කුඩා බෑගයක් මගීන් වෙතට දිගු කොට ඊට මුදල් එකතුකරනු දක්නට ලැබේ. එමෙන්ම බසයේ පූජ්‍ය පක්ෂය සඳහා ඇති අසුනට ඉදිරියෙන් බුද්ධරූපයක් හෝ දේවරූපයක් ප්‍රදර්ශනය වුවහොත් බසයේ මගින් ඇමතීමට පෙර ඔහු ඊට ද වඳිනුයේ තමන්ගේ ව්‍යාජ දැහැමි බව ප්‍රදර්ශනය කරනු පිණිසය.

සිඟා කෑම හෙවත් යාචක වෘත්තිය ආත්ම ගෞරවය පිළිබඳ කිසිදු තැකීමක් නොකොට කළයුතු රැකියාවකැයි බොහෝ දෙනා සිතති. එහෙත් මෙවැනි මුදල් යැදීම් වලින් පැවසෙනුයේ ආත්ම ගෞරවය රැකගනිමින්ද සිඟා කෑමේ ක්‍රම දැන් අප රටේ පවතින බවය. එහෙත් මෙය හුදු සිඟා කෑමක් නොව වංචනික ලෙස මුදල් ලබා ගැනීමක් වන බැවින් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත්කිරීමට පොලිසියට බලය තිබේ.

එමෙන්ම ‍කිනම් හෝ මහජන ආධාරයක් එකතුකිරීමේ දී ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ ලිඛිත අවසරයක් ලබාගත යුතුය. එහෙත් මෙවන්නවුන් වංචනිකයන් බැවින් එබඳු දේ සඳහා යොමු නොවන අතර ඉතා අවාසනාවන්ත ලෙස එවැනි නීතිමය තත්ත්වයන් පිළිබඳව අප රටේ බොහෝ දෙනෙක් නොදනිති.

ඔවුන් නිසා සමාජයට සිදුවන ප්‍රධානතම හානි දෙකකි. ඉන් පළමුවැන්න අහිංසක ජනතාව ඔවුන්ගේ සට කපටකම්වලට හසුවීමය. දෙවැන්න විවිධ රෝගාබාධ සුව කිරීම සම්බන්ධයෙන් විද්‍යාව අතික්‍රමණය කළ විවිධ ගුප්ත ප්‍රතිකාර ක්‍රම ඇතැයි යන මිත්‍යා විශ්වාසය වසංගත මෙන් රටපුරා පැතිරයාමය. ඒ අනුව නම්බුකාර සිඟාකෑමේ මුවාවෙන් මෙලෙස සමාජයේ සැරිසරන කූට වංචනිකයන්හට නොරැවටීමට ජනතාව වගබලා ගත යුතු අතර මෙම වංචනික ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අදාළ අංශ ද වහා ක්‍රියාත්මක විය යුතුය.

 

-ශානිකා රත්නායක-

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 15:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්