මේ වන විට ලංකාවේ සාහිත්‍යය සම්මාන කිහිපයක් ම පැවැත් වෙන අතර ඒ ඒ සම්මාන උළෙල සංවිධායකයන් විසින් ඊට අදාළව විවිධාකාර කොන්දේසි පනවනු ලබයි. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට කිසිවකුට අයිතියක් නොමැත. ඒ, අදාළ සම්මාන උළෙල සංවිධානය කරන්නේ ඒ ඒ ආයතන විසින් ම පනවාගත් රීති පද්ධතියකට අනුව නිසා ය. රාජ්‍යය සාහිත්‍යය උළෙල ද එසේ ම ය. මෙරට පවත්නා රාජ්‍යය සාහිත්‍යය උළෙලේ දී කිසියම් සාහිත්‍ය කෘතියක් සම්මානයක් සඳහා සලකා බලන විට ද අදාළ කෘතිය පිළිගත් කොන්දේසි මාලාවකට යටත් වේ. එම කොන්දේසි උල්ලංඝනය වන පරිදි කිසියම් කෘතියකට රාජ්‍යය සම්මාන හිමි වූයේ නම් ඒ පිළිබඳව විමසීමට කලාකරුවකුට මතු නොව කලාව විඳින නොවිඳින ඕනෑම පුද්ගලයකුට අයිතියක් පවතී. මේ ලියැවිල්ල ද ඒ අයිතිය වෙනුවෙනි.
රාජ්‍යය සම්මාන උළෙලේ මතු නොව වෙනත් සම්මාන උළෙලක දී වුව අදාළ සාහිත්‍ය කෘතියේ අඩංඟු නිර්මාණ ඊට පෙර මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ කෘතියක අඩංඟු වී නොතිබීම එක් ප්රමුඛ කොන්දේසියකි.මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වූ සුනිල් සරත් පෙරේරාගේ “සඳකත්මිණ”ගීත රචනා සංග්‍රහය එම කොන්දේසිය සහමුලින්ම උල්ලංඝණය කර අනෙක් නිර්මාණකරුවෝ බරපළ අගතියකට පත්කර ඇති බව දැනගන්නට ලැබුණි.
ඒ, මෙවර රාජ්‍යය සාහිත්‍ය සම්මානය ලැබූ සුනිල් සරත් පෙරේරාගේ “සඳකත්මිණ” කෘතියේ 91වන පිටුවේ අන්තර්ගත “මහ වරුසාවට පසුව නැගෙන සඳ” ගීතය ඔහු 1996 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබූ ඔහුගේම “මහකන්ද”ගී පද සරණියේ පිටු අංක 94 පිටුවේ දැකගත හැකිවීම ය. එය සම්මාන සඳහා සාහිත්‍ය කෘති සලකා බැලෙන කොන්දේසි සපුරා උල්ලංඝනය කිරීමකි.
මෙවර සම්මාන උළෙල වෙත ප්රමුඛ පෙළේ ගේය පද රචකයන් කිහිප පළකගේ ම කෘති ගණනාවක්ඉදිරිපත් කර තිබුණි. ඒ පහත පරිදි ය.
“මලක් වුණේ ඇයි ඔබ මට” – සමන් ආතාවුදහෙට්ටි
“මට මා හමුවුණා” – බන්දුල නානායක්කාරවසම්
“ඉවුරු දෑලට එන්න” – රවී සිරිවර්ධන
“පැන මඩ කඩිති” -මහින්ද චන්ද්‍රසේකර
‘‘සොඳුරු අතීතේ’’ – මාලනි ජයරත්න
මේ අතරින් රවී සිරිවර්ධනගේ “ඉවුරු දෑලට එන්න” සහ මහින්ද චන්ද්‍රසේකරගේ”පැන මඩ කඩිති” කෘතිය සම්මානයට පවා නිර්දේශ නොවුණි. (එසේ විය යුතුම යැයි මෙයින් අදහස් නොකෙරේ) ලැබී ඇති තොරතුරුවලට අනුව මහින්ද චන්ද්‍රසේකරගේ “පැන මඩ කඩිති” කෘතිය සම්මාන සඳහා සලකා බැලීමක් නොකර ඇත්තේ ඔහුගේ කෘතියේ ඇති ගීත මීටපෙර ඔහු මුද්‍රණද්වාරයෙන් නිකුත් කළ කෘතිවලින් තෝරාගත් ගීත එකතුවක් බැවිනි.එසේ නම් එම කොන්දේසිය සුනිල් සරත් පෙරේරාගේ “සඳකත්මිණ”ගීත රචනා සංග්‍රහයට ද බලපෑ යුුත නොවේ ද? නමුත් පුදුමය වන්නේ සම්මානය හිමි වූයේ අමු අමුවේ සම්මාන කොන්දේසි උල්ලංඝනය කර ඇති කෘතියට වීම ය.‘‘විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය’’ වුව ද ජනතාවගේ බදු මුදලෙන් පවත්වන රාජ්‍යය සාහිත්‍යය සම්මාන උළෙළේ විනිශ්චය මණ්ඩලය මේ අන්දමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව පිළිබඳ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමිය ප්රමුඛ සාහිත්‍ය උපදේශක මණ්ඩල මෙන්ම සමීක්ෂණ මණ්ඩලය ද පිළිතුරු සැපයිය යුතුය. එසේ ම සම්මානයට පාත්‍ර වු කෘතිය මේ ආකාරයට කොන්දේසි උල්ලංඝනය කර ඇත්නම් අදාළ රචකයා වෙත ලබා දුන් සම්මානය අවලංගු කර එය ආපසු ලබාගත යුතු ය. කටයුතු එසේ සිදු නොවන්නේ නම් අදාළ උළෙල වෙත කෘති ඉදිරිපත් කළ අනෙක්නිර්මාණකරුවන් බරපතළ ලෙස අගතියට පත්වී ඇති බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
-ජයසිරි අලවත්ත