Life+News The Official News Portal of Independent Television Network Ltd

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය යළි තහවුරු කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:04

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය යළි තහවුරු කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු බව අද ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කළා. 2016 සැප්තැම්බර් අට වනදා කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු තිදෙනකු ගොනු කළ අභියාචනා පෙත්සමේ තීන්දුව ලබාදෙමිනුයි ‍ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වූ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා පසුගිය ආණ්ඩු කාලයේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ද හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක්. මේ සමීපතමයන් දෙදෙනා අතර පැවැති විරසකය අවසන් වූයේ 2011 වසරේ ඔක්තෝබර් අට වනදා මුල්ලේරියාවේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ඝාතනය කිරීමෙන්. පසුගිය ආණ්ඩුවේ පාලන කාලය අවසන් වන තෙක්ම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැහැ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2015 වසරේ මාර්තු 03 වනදා නීතිපතිවරයා විසින් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මේ නඩුව ගොනු කළා. විත්තිකරුවන්ට අමතක වීමේ රෝගය වැලඳුණේ මේ නඩුවේදී දුමින්ද සිල්වා කළ ප්‍රකාශ හේතුවෙනුයි. එමගින් අධිකරණය හෑල්ලුවට ලක්කළ බවට ද ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් අදහස් පළ කර තිබුණා. මීට අදාළව පැවැති නඩුව අවසන් කරමින් කොළඹ මහාධිකරණය දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට මරණ දඬුවම නියම කළා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ඝාතනය කිරීම, ඝාතනයට කුමන්ත්‍රණය කිරීම, ගිනිඅවි භාවිත කරමින් ඡන්ද දායකයන් බිය ගැන්වීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුළු චෝදනා දහයකට ඔවුන් වැරදිකරුවන් බව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරනු ලැබුවා.

මේ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමේ නියෝගය ලබාදෙමින් අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගැනීමේ චෝදනාවෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම විශේෂ කරුණක්. දුමින්ද සිල්වා, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවන් අනෙක් සියලුම චෝදනාවලට වරදකරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. ඒ අනුව මහාධිකරණය මගින් නියම කළ මරණ දඬුවම ස්ථිර කෙරුණා. දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පොලිස් නිලධාරි අනුර තුෂාර ද මෙල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

2007 වසරේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කාලයේදී දුමින්ද සිල්වාට එරෙහිව ළමා අපචාර නඩුවක් විභාගවෙමින් තිබුණා. එහෙත් එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් එම නඩුව ඉල්ලා අස්කර ගත්තා. එය නීතිපති දෙපාර්තමේන්තුව බරපතළ විවේචනයට ලක්වූ අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එවකට අගවිනිසුරුවරයා වූ අශෝක ද සිල්වා මහතා ද පවසා තිබුණේ නඩුව ඉල්ලා අස්කරගැනීම වැරදි තීරණයක් බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්