Life+News The Official News Portal of Independent Television Network Ltd

කර්මාන්ත ක්ෂේත්‍රය නිල ක්ෂේත්‍රයක් කිරීම රජයේ අරමුණයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 18:42

කර්මාන්ත ක්ෂේත්‍රය නිල ක්ෂේත්‍රයක් කිරීම රජයේ අරමුණයි

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය නිල ක්ෂේත්‍රයක් බවට පත්කිරීම රජයේ අරමුණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එම ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් සෑම ආකාරයකම යටිතල පහසුකම් සැපයීම සඳහා කටයුතු කරන බවයි ඒ මහතා කියාසිටියේ.

ආසියා පැසිෆික් ග්‍රාමීය හා කෘෂිකාර්මික ණය සංවිධානයේ විශේෂ සැසියකට කොළඹ දී එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය ආර්ථිකයේ ඉතා වැදගත් කාණ්ඩයක් ලෙස සෑම රටක්ම හඳුනාගෙන ඇති බවයි මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ. ණය පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා පුළුල් කිරීම , වෙළෙඳපොළ අවස්ථා වැඩි කිරීම මෙන්ම සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධ වන පරිදි වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා.

රජයේ 2025 ප්‍රතිපත්ති වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත ඇති මූල්‍ය  ගැටලු විසඳීමට පියවර ගෙන තිබෙනවා. තරුණ උපාධිධාරීන් ඉලක්ක කර ගනිමින් ව්‍යාපාර ආරම්භ කිරීමට අතහිත දීම තුළින් විරැකියාව අවම කිරීම රජයේ අරමුණ වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් ද සහන ණය වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. තාක්‍ෂණික ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ද රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර තරගය වර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. සූර්ය බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගැන්වෙනවා. පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක බව වැඩි කිරීමට හා මාර්ග තදබදය අවම කිරීම සඳහා ද සහන ණය වැඩසටහන් දැන් ක්‍රියාත්මකයි. රජය හඳුන්වා දී ඇති ණය වැඩසටහන් සඳහා මේ වන විට විසිදහසකට ආසන්න අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බව ද මංගල සමරවීර මහතා කියාසිටියා.

සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ තුළින් දස ලක්‍ෂ ගණනක් නව රැකියා නිර්මාණය කිරීමට ඉඩ ලැබෙන අතරම රටේ ආර්ථිකය ද විශාල ඉදිරි පිම්මක් පනිනු ඇති. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය දීම් අවිධිමත් ආකාරයෙන් සිදුවීම නිසා රටේ ඇතැම් ප්‍රදේශවල ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම තත්ත්වය තේරුම් ගනිමින් කාන්තාවන් හතළිස්පන් දහසක් ලබාගෙන ඇති රුපියල් බිලියන 1.25ක පමණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට රජය තීරණය කළ බව ද අමාත්‍යවරයා කියාසිටියා. මෙවැනි වගකීම් විරහිත ණය වැඩපිළිවෙළ සඳහා අවකාශයක් ඉදිරියේදී ඇති නොකිරීමට ද කටයුතු කරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 18:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්