නියමිත වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කළ ලොව හොදම ගුවන් සේවය ලෙස පළමු තැන හිමි කර ගැනීමට ශ්රී ලංකන් ගුවන් සේවයට හැකි වුණා. ලෝකයේ ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ ආයතනය දෙදහස් දහ අට වසරේ සැප්තැම්බර් මාසය මුල්කර ගනිමින් පැවැත්වූ නිරීක්ෂණවලදීයි ශ්රී ලංකන් ගුවන් සේවය මෙසේ පළමු තැනට පත්ව තිබෙන්නේ. ඒ ගෝලීය ගුවන් සේවා හා ප්රධාන ගුවන්සේවා කාණ්ඩ යටතේයි ගෝලීය ගුවන් සේවා කාණ්ඩය යටතේ නිසි වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීම වෙනුවෙන් ශ්රී ලංකන් ගුවන් සේවය සියයට අනූවකට වඩා වැඩි ලකුණු ප්රතිශතයක් වාර්තා කළා.
එම ගුවන් සේවා කාණ්ඩය යටතේ දෙවන ස්ථානය ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවයටත් තෙවන ස්ථානය ජපානයේ ඒ එන් ඒ ගුවන් සේවයටත් හිමි වුණා. ප්රධාන ගුවන් සේවා කාණ්ඩය යටතේ දෙවන ස්ථානය ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයටත් තෙවන ස්ථානය ජපානයේ ඒ එන් ඒ ගුවන් සේවයටත් හිමි වුණා. ශ්රී ලංකන් ගුවන් සේවය වන් වර්ල්ඩ් ගුවන් ගමන් සේවා ජාලය සමග එක් වෙමින් රටවල් හතලිස් අටක ගමනාන්ත එකසිය දාහතරක් සදහා සිය ගුවන් මෙහෙයුම් නියමිත වේලාවට සිදු කරනවා. පසුගිය මාසයේ සිට ශ්රී ලංකන් ගුවන් සේවය ක්රියාත්මක කළ පියාසැරීමට සූදානම් අඛණ්ඩ කාර්ය සාධන ක්රියාවලියෙන් ලොව පුරා පාරිභෝගික සේවා වැඩිදියුණු කර ගැනීම මෙම ජයග්රහණයට හේතු වූ බවයි ගුවන් සේවා ආයතනික සන්නිවේදන අංශය පෙන්වා දෙන්නේ.