Life+News The Official News Portal of Independent Television Network Ltd

CCTV දර්ශන නිරීක්ෂණය කර රියදුරු බලපත්‍ර අවලංගු කරන්න යෝජනාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:34

CCTV දර්ශන නිරීක්ෂණය කර රියදුරු බලපත්‍ර අවලංගු කරන්න යෝජනාවක්

තමන්ගේ ස්වශක්තියෙන් තමා වෙත පැමිණෙන සේවාදායකයා වෙත නිසි පුහුණුවක් ලබාදී රියදුරු බලපත්‍රය ලබාගැනීමට හැකි තත්ත්වයට පත්කළ යුතු බවද එසේ නොමැතිව රියදුරු බලපත්‍රය ලබාදෙන නිළධාරියා පසුපස ගොස් මුදල් ලබාදී බලපත්‍රය ලබාගැනීම නොකළ යුතු බවද ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, පසුගියදා රියදුරු උපදේශකයින් වෙනුවෙන් පැවති ලිඛිත පරීක්ෂණයෙන් හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වු රියදුරු උපදේශකයින් 233 දෙනෙකුට නීත්‍යානුකූල පත්වීම් ලබාදීම සඳහා ඊයේ (05) නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවති උත්සවයකදීය.

තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ රියදුරු පාසල් පවත්වාගෙන යාම සඳහා රියදුරන් පුහුණු කිරීමේ උපදේශකයින් වෙනුවෙන් නීත්‍යානුකූලව පත්වීම් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවත්ය. “2012 වසරේ සිට මේ දක්වා මෙලෙස පත්වීම් ලබාදීමට නොහැකි වීම කණගාටුවට කරුණක්. රියදුරන් බිහිකරන පුහුණු උපදේශකයින්ට තාක්ෂණික දැනුමක් හා මාර්ග නීති පිළිබඳවත් ආචාරධර්ම පිළිබඳවත් දැනුමක් ලබාදෙන්න ඕන. එම නීති රීති වලට අවනත රියදුරන් බිහිකරන්න ඕන. අද අපි මාර්ග අනතුරු පිලිබඳව CCTV කැමරා දර්ශන බැලීමේදී පේනවා සමහරවිට මේ ලයිසන් දීල තියෙන්නේ මෘගයින්ටද කියලත් ඒතරම්ම මාර්ග නීති කඩ කරන රියදුරන් ඉන්නවා. ඒ නිසා මම යෝජනා කරනවා මාර්ග නීති වලට අවනත නොවන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අවලංගු කළ යුතු බවට’’.

ඒ වගේම මෙම උපදේශකයින් සඳහා වායු විමෝචනය පිළිබඳ දැනුම ලබාදීමත්, පොලීසිය මගින් සම්මන්ත්‍රණ පැවැත්වීමත් කළ යුතුයි. මෙම රියදුරු උපදේශකයින් සඳහා තිබු ලිඛිත පරීක්ෂණය සමත්වී ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වු අයට නැවත එම ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

දිවයින පුරා රියදුරු පුහුණු පාසල් 538 ක් ඇති අතර, පුහුණුකරුවන් 1200 ක්ද සිටී. මොවුන් රියදුරු උපදේශකයින් ලෙස ලියාපදිංචි කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. මේ සඳහා ලිඛිත පරීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂණයක්ද, පැවැත්වෙනු ඇත. ලිඛිත පරීක්ෂණයෙන් සමත්වු රියදුරු උපදේශකයින් සඳහා දින 05 ක පුහුණු පාඨමාලාවක්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබේ. රියදුරන් පුහුණු කිරීමේදී ඉගැන්වීම පිළිබඳ මූලධර්ම හා ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමය පිළිබඳ දැනුවත් කිරීම, ප්‍රථමාධාර පිලිබඳ දැනුවත් කිරීම, කාර්මික දැනුම ලබාදීම, ආචාරධර්ම හා විනය පිළිබඳ දැනුවත් කිරීම යන කරුණු පිලිබඳව උපදේශකයින් දැනුවත් කිරීම සඳහා මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ.ජගත් චන්ද්‍රසිරි, ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති එම්.ඒ.පී.හේමචන්ද්‍ර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් සහභාගී විය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්