මාතර සිට බෙලිඅත්ත දක්වා දිවෙන කිලෝමීටර් 36 කින් යුක්ත දුම්රිය මාර්ගය මෙම වසර අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා.
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර , බෙලිඅත්ත දුම්රිය මාර්ගය මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 48 ක් ද තෙවන අදියර ලෙස හම්බන්තොට සිට කතරගම දක්වා කිලෝමීටර් 39 ක් ලෙසද ඉදිකිරීමට සැළසුම්කර තිබෙනවා.
කැකනදුර, බඹරැන්ද, වැව්රුකන්නල, බෙලිඅත්ත යන ස්ථානවල ප්‍රධාන නැවතුම්පල හතරක් සහ පිලදූව, වෙහෙරහේන යන ස්ථානවල උප දුම්රිය ස්ථාන දෙකක් ඉදිකිරීමට නියමිතයි. මාතර සිට කැකනදුර අතර කිලෝමීටරයක පමණ ගුවන් පාලමක් ඉදිකෙරෙන අතර ශ්‍රී ලංකාවේ ඉදිවන දිගම දුම්රිය මාර්ග බිම්ගෙය වන නාකුට්ටිගම බිම්ගෙය ද ඉදිකෙරෙන්නේ මෙම දුම්රිය මාර්ගයේයි. එය දිගින් මීටර් 615 ක්. ඊට අමතරව මීටර් 268 ක දිගින් යුතු බඹරැන්ද උමග ද මෙම මාර්ගයට අයත් වනවා. මෙම මාර්ගයේ ප්‍රධානම දුම්රිය ස්ථාන බෙලිඅත්තේ ස්ථාපිත කිරීමට නියමිතයි. මීටර් 300 ක් පමණ දිගින් යුත් වේදිකා තුනකින් එය සමන්විත වනවා. මෙම දුම්රිය මාර්ගයේ ඇති විශේෂත්වයක් වන්නේ දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගීන්ට මාරුවීමට ගුවන් පාලම් වෙනුවට උමං මාර්ග ඉදිකිරීමයි. ප්‍රධාන දුම්රිය ස්ථාන හතරේම උමං මාර්ග ඉදිකිරීමට සැළසුම්කර තිබෙනවා. දුම්රිය මාර්ගය නිල්වලා ගඟ හරහා ඉදිකරන බැවින් මීටර් 1037 ක් දිගින් යුතු පාලමක් සහ මීටර් 434 කින් යුතු පාලමක් ද ඉදිවනවා.