Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමා විවාහ අවලංගු කිරීමට මුල් වූ නුජූඩ්ගේ දික්කසාදය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:25

ළමා විවාහ අවලංගු කිරීමට මුල් වූ නුජූඩ්ගේ දික්කසාදය

නුජූඩ් අලි උපත ලබන්නේ 1998 දීයි. ඇය බලහත්කාර විවාහ සහ ළමා විවාහවලට එරෙහි යේමන ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක්. යේමනයේ ගෝත්‍රික සම්ප්‍රදායට එරෙහිව යමින් ඇය වයස අවුරුදු 10 දී සිය සැමියාගෙන් දික්කසාදය අත්පත් කර ගත්තා. 2008 නොවැම්බරයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා සඟරාවක් වන “ග්ලැමර්”සඟරාව නුජූඩ් අලි සහ ඇගේ නීතිඥවරිය වූ ෂාඩා නසර් වසරේ කාන්තාවන් ලෙස නම් කළා. හිලරි ක්ලින්ටන් සහ කොන්ඩලීසා රයිස් ඇතුළු ප්‍රමුඛ කාන්තාවන් විසින් නුජූඩ්ගේ ධෛර්‍යය පැසසුමට ද ලක්කර තිබෙනවා.

1964 දී උපත ලැබූ, නුජූඩ්ගේ නීතිඥවරිය වන ෂාඩා නසර්, මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක වන අතර, නුජූඩ්ගේ දික්කසාදයට පෙනීසිටීම නිසා බොහෝ ගෞරවයට පාත්‍ර වුණා. නුජූඩ්, ප්‍රංශ ජාතික මාධ්‍යවේදිනියක් වන ඩෙල්ෆින් මිනූයි සමඟ එක්වී, ඇයගේ ජීවිත අත්දැකීම් පිළිබඳව “මම නුජූඩ්, වයස අවුරුදු 10 යි, මම දික්කසාදයි” යන නමින් පොතක් ලියා පළකලා.

නුජූඩ් අලිගේ වයස අවුරුදු 9ක් වනවිට ඇගේ දෙමව්පියෝ, වයස අවුරුදු 30 ඉක්මවූ ෆයිස් අලි තාමර් නම්වූ පුද්ගලයෙකුට ඇය විවාහ කර දුන්නා. නිරන්තරයෙන් ඇගේ සැමියා ඇය දූෂණය කළ අතර සැමියාගේ මවුපියන්ගේ පහරදීම්වලට මුහුණ දීමට ද ඇයට සිදුවිය. අවසානයේ දී, විවාහ මංගල්‍යයෙන් මාස 2කට පසු, 2008 අප්‍රේල් මස 2 වැනි දින, තම පියාගේ දෙවැනි භාර්යාවගේ උපදෙස් මත සැමියාගේ නිවසින් පැනගොස් සනා අගනුවර උසාවියට ​​පැමිණියා. දීර්ඝ වෙලාවක් එහි රැඳී සිටීමෙන් අනතුරුව ඇය මොහම්මඩ් අල්-ගධා නම්වූ විනිසුරුවරයෙකුගේ අවධානයට ලක්වූවා. නුජූඩ්ගේ තාවකාලික රැකවරණ සළසාදීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔහු ඇයගේ පියා සහ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළා.

අත්අඩංගුවේ පසුවන සහ බන්ධනාගාරගතව සිටින කාන්තාවන් සඳහා සේවය සපයන නීතිඥවරියක වන ෂාධා නසර්, නුජූඩ් වෙනුවෙන් පෙනී සිටීමට එකඟ වුණා.

ඒ වකවානුවේ යේමන නීතියට අනුව, විවාහය සඳහා කාන්තාවකට අවුරුදු 15ක අවම වයසක් නියම කර තිබුන ද, බාල වයසේ ගැහැණු දරුවන් විවාහ කර දීමට ද එම නීතිය යටතේම මවුපියන්ට ඉඩක් ලබා දී තිබුණි. ඒ, විවාහයෙන් පසුව “නිසි පරිදි සුදානම්” වනතෙක්, එම ළදරු මනාලියන් සමඟ ලිංගික සම්බන්ධකම් නොපැවැත්වීමට ස්වාමිපුරුෂයා එකඟ වන්නේ නම් පමණි, යන කොන්දේසියට අනුවය.

නසර් නීතිඥවරියගේ තර්කය වුයේ ද නුජූඩ් ගේ සැමියා එම විවාහ නීතිය උල්ලංඝනය කිරීමයි. වසර 3 සිට 5 දක්වා විරාමයකින් පසුව සිය සැමියා සමඟ නැවත පවුල් ජීවිතය ගතකිරීමට විනිසුරුවරයා කළ යෝජනාව නුජූඩ් තරයේ ප්‍රතික්ෂේප කළා. 2008 අප්‍රේල් 15 දිනදී උසාවිය ඇයගේ දික්කසාදයට අවසර ලබාදුන්නා.නඩු විභාගයෙන් පසු නුජූඩ් ඇගේ පවුලේ සාමාජිකයින් සමඟ නැවත වාසයට පැමිණියා.

2008 වර්ෂයේ ශරත් ඍතුවේ දී නීතිඥවරියක් වීමේ අදිටනින් ඇය නැවත පාසලට යාම ආරම්භ කළා. නුජූඩ්ගේ මතක සටහන් 2009දී ප්‍රකාශයට පත් කරන ලද අතර, පොතේ ජාත්‍යන්තර අළෙවියෙන් උපයනු ලැබූ ආදායම ඇගේ පාසල් අධ්‍යාපනය සඳහා යෙදවීමට අදහස් කළා. නමුත් ඇය නිතර පාසලට ගියේ නැහැ. නඩු විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් යේමනය පිළිබඳ සෘණාත්මක ආකල්පයක් විදේශීය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා 2009 වසරේ දී නුජූඩ් අලිගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලද අතර ඒ හේතුවෙන් ඇයට ඕස්ට්‍රියාවේ වියානා නුවර පැවති ලෝක කාන්තා සම්මාන උළෙල සඳහා සහභාගි වීමට නොහැකි විය. විදේශීය මාධ්‍ය මගින් පොතෙන් ලැබෙන ආදායම ඇගේ පවුලේ අය වෙත පැමිණ තිබේදැයි යනුවෙන්ද ප්‍රශ්න කර තිබුණා.

2010 දී නුජූඩ්ගේ පවුල ඇගේ ප්‍රංශ ප්‍රකාශකයාගේ උපකාරයෙන් නව දෙමහල් ගොඩනැගිල්ලක වාසයට පැමිණි අතර, බිම් මහලේ සිල්ලර සාප්පුවක් පවත්වාගෙන යමින් ජීවත් වුණා. මේ කාලය වන විට නුජූඩ් සහ ඇගේ බාල සොහොයුරිය පෞද්ගලික පාසලකට පූර්ණ කාලීනව සහභාගි වූ අතර යේමන නීතිය යටතේ, අවුරුදු 18ක් සම්පුර්ණ නොවූ නුජූඩ්ට ඍජුව මුදල් ගෙවීමට ප්‍රකාශකයන්ට නොහැකි වූ නිසා, ඇය සහ ඇගේ අධ්‍යාපන වියදම් වෙනුවෙන් ඇගේ පියාට මාසයකට ඩොලර් 1000 බැගින් ලබා දීමට එකඟ විය.

මෙම ග්‍රන්ථයේ ඉංග්‍රීසි භාෂාවේ පිටපත 2010 මාර්තුවේ දී ප්‍රකාශයට පත් කරන ලදී. නුජූඩ්ගේ දික්කසාදය ලොවපුරා ප්‍රචාරය වීම, ළමා විවාහයන් අවලංගු කිරීම සඳහා පුරෝගාමී වූ අතර, ඒ අතුරින් 2009 වසරේදී, ඩොලර් 13,000ක මුදලක් සඳහා සෞදි අරාබියේ අවුරුදු 53ක මැදිවියේ මිනිසෙකුට බලහත්කාරයෙන් විවාහ කරදුන් 8 හැවිරිදි ගැහැණු ළමයකුගේ දික්කසාදය වඩාත් ප්‍රචලිත වුණා.

2013 දී නුජූඩ් මාධ්‍යයට පැවසුවේ ප්‍රකාශකයන් විසින් ගෙවන ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක් තම පියා විසින් රඳවාගෙන ඇති බවත්, ඇය සිය නිවසෙන් නෙරපා ඇති බවත්ය. එමෙන්ම, නුජූඩ්ගේ අධ්‍යාපනයට වැය කළයුතු වූ මුදලින් ඔහු නව බිරින්දෑවරු දෙදෙනෙක් සමඟ විවාහ වී තිබූ අතර ඇයගේ බාල සොහොයුරිය වන හයිෆා සඳහා ද මහළු මිනිසෙකු සමඟ විවාහයක් සූදානම් කර තිබුණි. නුජූඩ්ගේ හිටපු සැමියා ඇයට මසකට වන්දි වශයෙන් ගෙවූයේ ඩොලර් 30ක මුදලකි.

2015 වසරේ ජූනි මස, 16 වැනි වියේ පසුවූ නුජූඩ් (තේරුම “සැඟවුණු”) තම නම නොජූම් (තේරුම “අහසේ තාරකා”) ලෙස නිල නොවන ආකාරයෙන් වෙනස් කළාය.

ඇය මේ වන විට නැවත විවාහ දිවියට ඇතුළත් වී ඇති අතර දැන් ගැහැණු දරුවන් දෙදෙනෙකුද සිටී. යම්කිසි හේතුවක් නිසා ඇය පාසල් යාම ප්‍රතික්ෂේප කළ බැවින් ඇගේ අධ්‍යාපන මට්ටම ආරම්භයේ දී සැලසුම් කර තිබූ පරිදි ඉහළට ගෙනයාමට ඇය අපොහොසත් වුවත් ඇය නිසා යේමනයේ පමණක් නොව ලොව බොහෝ රටවල බාල වයස් විවාහ නැවැත්වීම සඳහා පදනම් වැටුණු බව නම් නොරහසක්.

 

-ශානිකා රත්නායක-

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්