Life+News The Official News Portal of Independent Television Network Ltd

රූ සපුවෙන් ලොවක් වසඟකළ බිලියනපතිනිය “කයිලි”

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 08:30

රූ සපුවෙන් ලොවක් වසඟකළ බිලියනපතිනිය “කයිලි”

ස්වෝත්සාහයෙන් දියුණු වූ ඇමරිකානු ප්‍රකෝටිපතිනිය ලෙස හඳුන්වන්නේ අපි කවුරුත් දන්න කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් යි.ඇමෙරිකානු නිරූපණ ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් විසි වැනි විය තරම් අඩු වයසක දී ඇමරිකානු ඩොලර් මිලියන 900කට හිමිකම් කියන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

සමාජ ජාල තරුවක් වන කයිලි “ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය” බවට පත්වීමේ මගට පිය මනිමින් සිටින බව යි ඇයගේ සමීපතමයන් පවසන්නේ.කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදේශකවරියක් ලෙසත් කටයුතු කරනවා.‍තමාගේම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම ඇය විසින් අරඹා ඇත්තේ මීට තෙවසරකට ඉහතදීයි.

කයිලිගේ සොයොයුරියන් අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන කිම් කාඩේෂියන්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 350ක්.ඇමරිකානු නීතිය අනුව තවමත් මත්පැන් භාවිතා කළ හැකි වයස පවා පසු නොකළ කයිලි මේ වසරේ අගෝස්තු මස 21 වෙනි වියට පා තැබුවා.කෘතීම ක්‍රම භාවිත කරමින් තම දෙතොල් කැපී පෙනෙන සේ සකසා ගත් නිරූපන ශිල්පිනියක ලෙස කයිලි ප්‍රසිද්ධියක් උසුලනවා .එක්දරු මවක් වන කයිලි දෙතොල් විශාල කරගැනීම සඳහා ලබාගන්නා එන්නත් නවතා දමා ඇති බව පසුගියදා ඇය මාධ්‍ය වෙත නිවේදනය කළා.

සිය ස්වාභාවික දෙතොල් තමන්ට “අනාරක්ෂිත බවක් ගෙන දෙන” නිසා තාවකාලිකව දෙතොල් විශාල කරගැනීමේ ක්‍රම අනුගමනය කරන බව ඇය 2015 වසරේ රූපවාහිනී වැඩසටහනක දී පැවසුවා.පසුව ඇය ‘කයිලි’ වෙළෙඳනාමය යටතේ රූපලාවණ්‍ය ආලේපන හඳුන්වාදීමට කටයුතු කළා. අනෙකුත් ආලේපන වර්ග මෙන් නොව, ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකිවන්නේ අන්තර්ජාලය ඔස්සේයි.ඇයගේ රූපලාවණ්‍ය ආලේපනවලට ලොව පුරා ඇත්තේ අති විශාල ඉල්ලුමකුයි. කයිලි නිෂ්පාදන අන්තර්ජාලයේ පළ කර මොහොතකින් සියල්ල අලෙවි වන බවයි තොරතුරු සඳහන් වෙන්නේ.

කයිලිගේ රූපලාවණ්‍ය සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇය සතුවන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 800ක් බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරනවා.එම සඟරාවට අනුව ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් වන බියොන්ස්ගේ වත්කම ඩොලර් මිලියන 335ක් සහ ටේලර් ස්විෆ්ට්ගේ වත්කම ඩොලර් මිලියන 320ක් වේ. ඔවුන් දෙදෙනාටම වඩා වැඩි වත්කමක් හිමි කයිලි ස්වෝත්සාහයෙන් දියුණු වූ ඇමරිකානු කාන්තාවන් ලැයිස්තුවේ 27වැනි ස්ථානයේ පසුවන බව ෆෝබ්ස් සඟරාව පවසයි.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට අවුරුදු 23වන විට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර, ඔහුට වඩා අඩු වයසක දීයි කයිලි අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබෙන්නේ.

‘ස්නැප්චැට්’ නිර්මාතෘ එවන් ස්පීජෙල් ද අවුරුදු 20 පසු කරනවාත් සමඟම බිලියන ගණනක ධනස්කන්ධයක් උපයා ගත් නමුත්, ඔහු ඉලක්කය කරා ළඟා වූයේ කිනම් වසරකදී දැයි පැහැදිලි නැත .

“මගේ පිංතූරය ෆෝබ්ස් සඟරාවේ කවර පිටුවක පළ කරනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි,” මිලියන 110ක අනුගාමිකයන් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ කයිලි එසේ සටහන් කර තිබූ අතර, ඇය ෆෝබ්ස් සඟරාවට සිය ස්තුතිය පිරිනමා තිබුණා.

කෙසේ නමුත්, කයිලි ජෙනර්ගේ දෙමාපියන් ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් වීම හේතුවෙන් ඇය ‘ස්වෝත්සාහයෙන්’ දියුණු වූ කාන්තාවක් ලෙස හැඳින්වීම පිළිබඳ ෆෝබ්ස් සඟරාවට සමාජ ජාල ඔස්සේ සමහර පුද්ගලයන් චෝදනා එල්ල කර තිබෙනවා.කිම් සහ කයිලිගේ මව වන ක්‍රිස් ජෙනර් රූපවහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරික කාන්තාවක්.කිම් කාඩේෂියන් ඇයගේ පළමු විවාහයේ දරුවන්ගෙන් එක් අයෙකු වන අතර කයිලි ඇයගේ දෙවැනි කසාදයේ දරුවෙකුයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්