Life+News The Official News Portal of Independent Television Network Ltd

මාපිය සෙනෙහසක් නැති මහ පොළොවේ තනි වූවෝ…

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 08:30

මාපිය සෙනෙහසක් නැති මහ පොළොවේ තනි වූවෝ…

ඔබට ගෙයක් තියනවා. ගමක් තියනවා. ලිපිනයක් තියනවා. එ්ත් අපට ඒවා නෑ. අපි දරුවෝ. එ්ත් අපිට කියන්නේ වීදි දරුවන් කියලා.

දියුණු නොදියුණු භේදයකින් තොරව සෑම රටකම සෑම නගරයකම පාහේ වීදි දරුවන් සිටිනවා.

ඉන්දියාවේ බජන් දිල්ලි නුවර බස් නැවතුම්පොළක මව විසින් ඇගේ දරුවා දමා යනවිට වයස අවුරුදු හතකි. හදිසියේම අනාතයකු වූ ඔහුට ජීවත්වීමට අනුන්ට අත පා මුදලක් ඉල්ලීම හැර අන් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. යාචක මිතුරෝ ඔහුට ‘රජු’ යන තේරුම ඇති රජන් නම තැබූවා. ඔහු රැකියාවක් ද සොයා ගත්තා. ඒ මාර්ග සංඥාවලට නවතා ඇති රථවාහන පිස දැමීමයි. ඒ අතර වීදි දරුවන්ට පිහිටවන ස්වේච්ඡා සංවිධානයක සේවකයන් පිරිසක් ඔහුට මුණ ගැසුණේය. ඒ මාර්ගයෙන් දැන් ඔහු පාසල් යයි. මහන්න, ක්‍රිකට් ක්‍රීඩා කරන්න ‍ඉගෙන ගනී. මාපියන් මුණ ගැසුණත් යළි ඔවුන් සමඟ යාමට රජන්ගේ කැමැත්තක් නැත. තමන් වැනිම වූ වීදි දරුවන්ට සරණවීම ඔහුට ඊට වඩා සතුටුය.

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි ඇලෙක්සිට වීදි දරුවකු වන්නට සිදුවූයේ මාපියන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම නිසාය. දැන් ඔහු යාචකයන් සමඟ එක්ව සිඟමන් යදී. මාපියන් ළඟ සිටිනවාට වඩා නව හැවිරිදි ඇලෙක්සිට සිඟමන් යැදීම් වටී. ඔහු ලොව පුරා විවිධ නගරවල වෙසෙන වීදි දරුවන් අතරින් එක් අයෙක් පමණී. කාලෝස් හෙරේඩියා ලතින් අමෙරිකානු රටක් වූ බොලිවියාවේලා පැස්හි දරුවෙකි. දරිද්‍රතාවය නිසාම ඔහු මහ මඟ හුදෙකලා විය.

“අපි උදේට ඉස්කෝලෙ යන්න ඕන. කෑමත් ලැබෙනවා. සවසට මම දොඩම් ගෙඩි උඩ දමමින් පුංචි මැජික් එකක් පෙන්වනවා. මේ නිසා දවල් කෑමටවත් වෙලාවක් නැහැ. සවස හතර වනතුරු දොඩම් උඩදාන සෙල්ලම කරනවා. මගේ මල්ලිට අවුරුදු එකොළහයි. එයා‍ට මැජික් බැරි නිසා මගේ ළඟට වෙලා පුංචි නැටුමකින් නරඹන්නන් සතුටු කරනවා.

දවසකට බොලිවියනොස් විස්සක් (ඩොලර් 2.50) පමණ උපයනවා. වාහනවලින් එන සමහර නෝනා මහත්තුරු අපට සල්ලි දෙනවා.රෑට නිදාගන්න අපි ආරක්ෂිත තැනකට යනවා. එතැනට යන්න පැය දෙකක් ගත වෙනවා.

එහෙත් බොහෝ වීදි දරුවන්ගේ ජීවිත කතා එතරම් සොඳුරු නැත. පිලිපීනයේ අගනුවර වන මැනිලාහි වීදියක ක්‍රිසන්තොගේ ඉරණම ලියැවීම ඇරැඹුණේ වයස අවුරුදු නව‍ෙය්දීය. බීමත් පියාගේ පහරදීම් ඉවසීමට නොහැකිව පලා යනවිට ඔහුගේ වයස අවුරුදු නවයකි. නගරයේ නෝනා මහත්තුරුන්ගේ බෑග් ඔසවාගෙන යාම, ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපද්‍රව්‍ය සොයා විකුණා කෑමට මුදලක් සෙවීම ඔහුගේ දෛනික කාර්යයන් අතර ප්‍රධාන තැන ගන්නවා. රාත්‍රියට ඔහු මිතුරන් සමඟ කනත්තේ නිදා ගනී. එහෙත් කනත්තේ ගත කරන ජීවිතය අතිභයානකය. අකමැත්තෙන් වූවත් මිතුරන්ගේ බලකිරීම මත ජංගම දුරකථන සොරකම් කිරීමට ඔහුට සිදුවී තිබේ. ඔහු වඩාත් කැමැති ප්ලාස්ටික් බෝතල්, වයර් කඩවලට අලෙවි කර ලබන පෙසොස් 5ක් වැනි සොච්චමකින් කුසගිනි නිවා ගැනීමටය.

එකළොස් හැවිරිදි ක්‍රිසන්තො වැනි නව යෞවනයන්ට දවස උදාවන්නේ ජීවිතයට රතුඑළියක් දැල්වෙමිනි. තමන් සටනට නොගියත් දබර කර ගන්නන්ගෙන් ඔහුටද ගැලවීමක් නැත. මේ නිසාම ‍ෙපාලිස් නිලධාරින්ගේ දෑස් නිරන්තරයෙන්ම ඔවුන් කෙරෙහි යොමුවී පවතී. කුසගින්නේ සිටීම හේතුවෙන් ක්‍රිසන්තො නිතර රෝගී වෙයි. රෝගයකට බෙහෙතක් ගැනීමටවත් ඔහුට ඉඩක් නොමැත. වතුර බිඳක් ඉල්ලා ගන්නට ආපනශාලා ඉදිරියේ උගුර ලේ රහ වනතුරු අයදින්නට ඔහුට සිදුවී ඇත. ලියුමක් ලියා ගන්නට තරමටවත් දැනුමක් ඔහුට නැත.

පිලිපීනයේ ප්‍රධාන නගරවල ජීවත්වන වීදි දරුවන්ගේ ගණන 220,000 කට අධිකය. ඔවුන්ගෙන් සමහර මාපියන්ගේ දිවිගැට ගැසීමට මහමඟට පිවිසි දරුවන්ය.

මේරික්‍රිස් දාහතර හැවිරිදි දැරියකි. හෝඩියේ පන්තියෙන්ම ඇයගේ පාසල් ගමන නතර වූයේ මාපියන්ගේ අගහිඟකම් නිසාය. ඇය සොයුරු සොයුරියන් සත්දෙනා සමඟ දුම්රිය ස්ථානයේ සිඟමන් යදින්නීය. සිඟමන් ඉල්ලා වෙහෙසට පත්වී නින්ද ගියද ඔවුන්ගේ ටින් කබල මුදලින් පිරී යයි. වැඩිමහළු සොහොයුරා රාත්‍රියට ජංගම දුරකථන සොරකම් කිරීමේ කල්ලියට එක්වී සොරකමේ යන බැවින් වීදියට වඩා ගත කරන්නේ සිරකුටියේය. වීදි දරුවන්ට රැකවරණය සඳහා තැනකට තමන් ඇතුළු සොයුරු සොයුරියන් රැගෙන යනු ඇතැයි මේරික්‍රිස් සිටින්නේ බියෙනි. එසේ වුවහොත් විරැකියාවෙන් පීඩා විඳින පියා තවත් අසරණ වනු ඇත.

ලොව නගර රැසකම වීදි දරුවෝ සිටිති. විශේෂයෙන්ම අප්‍රිකාව, දකුණු ආසියාව, නැගෙනහිර යුරෝපය ආශ්‍රිතව ජීවත්වන වීදි දරුවන් සංඛ්‍යාව අතිවිශාලය. මිලියන 150ක් පමණ වන වීදි දරුවන් සංඛ්‍යාව වසරක් පාසා ඉහළ යයි. මෙම සංඛ්‍යාවෙන් සියයට හතළිහක් (මිලියන 65ක්) පමණ නිවාස නැති මාපියන් නැති දරුවන්ය.

 

වීදි දරුවන් ගැන මුලින්ම වාර්තාවන්නේ 1848 වසරේදීය. ඇලන් බෝල් ලේඛකයා ඔහුගේ කෘතියක අනාථ දරුවන්ගේ ඉතිහාසය ගැන සඳහන් කර තිබේ. අගස්තියානු රෝමයේ (ඔගස්ටන් රෝම්) පිරිමි දරුවෝ ගණිකාවන් ලෙස යොදවාගෙන තිබේ. 1848 දී ලෝඩ් ඇල්ලේ ලන්ඩනයේ තිස් දහසකට අධික නිරුවත් වීදි දරුවන් ගැන සඳහන් කර ඇත. 1922 පමණ වනවිට පළමු ලෝක යුද්ධයෙන් අඩු වශයෙන් රුසියාවේ දරුවන් මිලියන හතකට පමණ උන්හිටි තැන් අහිමිවිය. ඔවුන් සොරුන්, ගණිකාවන්, මතට ඇබ්බැහිවූවන් වශයෙන් කල්ලි ගැසිණි.

ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් විවිධ හේතූන් මත දරුවෝ මාපිය සෙවණ අහිමිවීම මත පොළොවේ තනි වෙති. කොංගෝ, උගන්ඩාව වැනි රටවල දරුවන් පාරට බසින්නේ බොහෝවිට සංස්කෘතික ගැටලු නිසාය. පවුලට අවාසනාව ගෙන එන බවට සැකකර පිටමං කරන දූ දරුවන් අතරමං වන්නේ වීදිවලය. ඇෆ්ගනිස්ථානයේ දූෂණයට ලක්වන දියණිවරු සහ මාපිය විවාහ යෝජනාවලට එකඟ නොවන දියණිවරු බලහත්කාරයෙන් නිවෙසින් පිටමං කරති.

 

නයිජීරියාවේ උතුරු කොටසේ දරුවන් ඉස්ලාමීය ආගමික ගුරුවරුන් විසින් නෙරපා දමන්නේ ආගමික විශ්වාසයන්ට අනුවය. එම දරුවෝ වීදි පුරා යමින් සිඟමන් යදිති.

 

කෙන්යාවේ ඇස්තමේන්තුගත වීදි දරුවන් ගණන 250,000කට අධිකය. අගනුවර වන නයිරෝබිවල සිටින වීදි දරුවන් ගණන හැටදහස ඉක්මවා ගොසිනි. දිළිඳුකම දරුවන්ගේ ඉරණම මාවතේ ලියන සැඟවුණු සත්‍යයය.

 

අප්‍රිකානු ජර්නලයක සඳහන් කර ඇති අන්දමට මාවත් දරුවන් වැඩිදෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ය.

සයිරා ලියොන් සැලකෙන්නේ ලොව දිළිඳුම ජනතාව වෙසෙන රාජ්‍යයක් ලෙසිනි. එරට දරුවන් පනස් දහසක් පමණ දිවිගැට ගසාගන්නේ මාවත්හි දිවිගෙවමිනි. සියරා ලියොන් දරුවන්ගෙන් තුන් ලක්ෂයකට පමණ අධ්‍යාපනය ලබාගැනීමේ වරම අහිමිය.

 

බංග්ලාදේශයේ ඇස්තමේන්තුගත වීදි දරුවන්ගේ ගණන හය ලක්ෂ හැත්තෑ දහසකට අධිකය. ඉන් 36%ක් පමණ දිවි ගෙවන්නේ ඩකා අගනුවරය.

 

ඉන්දියාවේ නවදිල්ලි, ‍කොල්කටා, මුම්බායි වීදිවල සරණ දරුවන් ගණන මිලියනයකට අධිකය. ඉන්දියාවේ සමස්ත වීදි දරුවන්ගේ ගණන මිලියන 11 ඉක්මවයි. ඉන් වැඩි කොටස පිරිමි දරුවන්ය. ළමා කම්කරුවන් වැඩිම රටක් ලෙසද ඉන්දියාව සැලකෙයි.

 

2007 වසරේ අධ්‍යයන වාර්තාවන්ට අනුව ඉන්දුනීසියාවේ වීදි දරුවන්ගේ ගණන 170,000කට වැඩිය. වයස අවුරුදු 4-16 දක්වා වයස් කාණ්ඩවල දරුවෝ මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී සිටිති. ගැහැනු දරුවන් වැඩිදෙනෙක් ගණිකාවන්ය.

ලෝකයේ වැඩිම වීදි දරුවන් සංඛ්‍යාවක් සිටින රටවල් අතරින් පාකිස්තානයද ඉදිරියෙන්ම ඇත. පකිස්තානයේ වීදි දරුවන් ගණන මිලියන 1.2-1.5 අතර වේ.

 

1998 පිලිපීන‍ෙය් වීදි දරුවන් මිලියන 1.5 සිටියහ. ඉන් සියයට හැත්තෑවක්ම පිරිමි දරුවන්ය.

 

වියට්නාමයේ වීදි දරුවන්ගේ ගණන 15,000කට අධිකය. සංවර්ධිත රටක් සේ පිළිගැනුණ ද ඕස්ට්‍රේලියාවේ 22,000කට අධික ගැටවර පිරිසකගේ වාසස්ථානය මහමඟය. වැඩි පිරිසක් සිටින්නේ නිව් සවුත්වේල්ස්හිය. නැගෙනහිර යුරෝපියානු රටවල්වල, රුමේනියාවේ, මොල්ඩෝවාවේ, යුක්‍රේනයේ, රුසියාවේ වීදි දරුවන්ගේ ඉරණම ඛේදනීයය. ග්‍රීසියේද වෙනසක් නැත

.

උතුරු අමෙරිකාවේ මිලියන 1.6කට අධික දරුවන් පිරිසක් වීදියේ සරති. ඇස්තමේන්තුගත ගණන මිලියන දෙකකට අධිකය. වීදි දරුවන්ගේ ජීවිත කෙළවර වන්නේ අපරාධකරුවන් ලෙසින් හෝ සමලිංගිකයන් ලෙසිනි.

 

වීදි දරුවන් තමන්ගේම දරුවන් කියා සිතීමට තරම් කාරුණික හදවත් ඇති අයද සිටිති. ඔවුන්ගේ දයාබරත්වයේ දෑත් මේ අසරණ දරුවන් වෙත යොමුවීම නිසා වීදි දරුවන්ගෙන් සමහරකුට ජීවිතය ලැබීමේ වාසනාව හිමිවනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්