අනුෂා සිවලිංගම්, දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට එක් කෘතියක් සහ සිංහල බසින් දෙමළ භාෂාවට එක් නවකතාවක් පරිවර්තනය කර තිබෙනවා. ඒ කරුනාකරන්ගේ “ඉප්පඩි ඔරු කාලම්” “මතක වන්නිය” ලෙස සහ නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” “තාරා ශාමලී කුමාරස්වාමි” ලෙස.
ජනසන්නිවේදනය පිළිබඳ විශේෂ උපාධියක් සහිත ඇය මේ වන විට මාධ්‍යවේදිනියක ලෙසත්, පර්යේෂිකාවක ලෙසත් කටයුතු කරමින් ඉන්නවා. ඇය ප්‍රථම වරට ලියන කෘතිය “දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය” යි. ‘අහස’ ප්රකාශනයක් ලෙස එළිදකින එම කෘතිය සම්බන්ධව ඇය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකිමේ.
“දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය” පොතක් ලෙස පළ කරන්න සිතුවේ ඇයි?
පළවෙනි හේතුව ලංකාවේ දෙමළ සිනමා ඉතිහාසය සම්පූර්ණයෙන් කොතැනකවත් සටහන් වෙලා නැහැ. ඒවගේම ලංකාවේ දෙමළ සිනමාව දෙමළ භාෂාවෙන්වත් සටහන් වෙලා නැහැ. ඒ නිසයි මේ කෘතිය දෙමළ, සිංහල භාෂා ද්විත්වයෙන්ම පළ වීමට නියමිත වෙන්නෙ.
1967 දී පටන්ගත් දෙමළ සිනමාව කළුජූලිය දක්වා පොතක් ලෙස සටහන් කරන්නෙ චිත්‍රපට විචාරක තම්බයියා දේවදාස්. ඊට අමතරව විවිධ මාධ්‍යවේදීන්, විචාරකයින් පුවත්පත්, සඟරා ආදිය හරහා දෙමළ සිනමාව ගැන ලිපි ලියනවා. ඒත් 83 කළුජූලිය ආරම්භයේ සිට 2009 වන තුරු බිහි වුණු බොහෝ සිනමා ව්‍යායාමයන් ඒ ගින්න සමඟම මැකී ගියා. ඒ ගැන සටහන් වූ දේ අවමයි. ඒවගේම ඒ දැවී ගිය ගින්නේ ඉතුරු-බිතුරු තිබෙනවා වගේම ඒ තිබුණු සිනමාවේ කොටසුත් ඉතිරිව තියෙනවා. මම කළේ ඒ සියල්ල සටහන් කිරීමයි. එහිදී අතීත ස්මරණයන් ඉතිරි වූ පුද්ගලයන් මම සොයා ගියා. ඒවගේම 2009න් පසු බිහි වූ සිනමා ව්‍යායාමයන් ගැන තොරතුරු ඊට මැදිහත් වූ පුද්ගලයන්ගෙන් මම ලබාගත්තා. මම ඇත්තටම කළේ තම්බයියා දේවදාස් වගේම, අවම විචාරක පිරිස සටහන් කළ තොරතුරුවලට තවත් තොරතුරු සොයායමින් ඔවුන් තැබූ පියවරෙන් තව පියවරක් ඉදිරියට තැබීමයි.
ඉතිහාසය ලිවීම භාරදූර වගකීමක්. ඒ කාර්යය ඔබ කළේ කොහොමද?
සිනමා ඉතිහාසය තුළත් අන්තර්ගත වෙලා තියෙන්නෙ මිනිස් ඉතිහාසයයි. එනිසා එය කොතැනක හෝ සටහන්වීම වැදගත්. ඒ ඉතිහාසය සිනමාවේ සටහන් වෙනවා වගේම ඒ ගැන ලියැවුණු කෘතියකත් එය සටහන් වීම වැදගත්. මේ සිනමා ඉතිහාසය මම ලිව්වේ ඒ ඉතිහාසයේ සිනමාවේ නියැලුණු පිරිසගෙන් ගත් තොරතුරු මගින්. එහිදී මම කිසිවක් අලුතින් ලියා නෑ. මා කළේ ඔවුන්ගේ සිතේ පරිස්සමට තිබුණු මතක සටහන් කිරීම පමණයි. මට කළ හැකිව තිබුණෙත් එපමණයි. ඒත් මා අතින් වුවත් යම් යම් තොරතුරු නොලියවී තිබෙන්නත් පුළුවන්. මට හැකි උපරිමයෙන් තොරතුරු එකතු කිරීම හා වාචික දත්ත සටහන් කිරීමයි මම කළේ. මා අතින් මඟහැරුණු තවත් කරුණු අනිවාර්යයෙන් තිබෙනවා.
මෙම කෘතියේ 1967දී ආරම්භ වූ දෙමළ සිනමාවේ සිට 1983 කළුජූලිය දක්වා එය වර්ධනය වීම පිළිබඳව සටහන් වී තිබෙනවා. හැමෝම දන්නවා වගේ 1983න් පසුව දෙමළ සිනමා කර්මාන්තය කඩා වැටුණා. ඒත් එක් අන්තයකින් එය නැවත නැගිටීම බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. මට අවශ්‍ය වුණා ඒ නැගිටීම, ඒ සිනමා ජීවිතය ගැන කියන්න. බොහෝ දෙනෙකුට එලෙස සිදු වූවා යයි සිතීමටත් නොහැකි, ඇත්තෙන්ම 2009 වර්ෂයේදීත් හුස්මගත්ත සිනමාව ගැන හැමෝටම කියන්න මට ඕන වුණා. ඒවගේම සිදු වූ මහා විනාශයෙන් නොනැවතුණු සිනමාවේ ගමන්මඟ ගැන කියන්න මට ඕන වුණා. ඇත්තෙන්ම ඉතිහාසය ලිවීම භාරදූර කාර්යයක්. ඒ භාරදූර කාර්යයේ කොටසක් වෙන්න ලැබීම මට සතුටක්.
සිනමාව යන පොදු විෂය තුළ ලාංකේය දෙමළ සිනමාව යනුවෙන් නාමකරණයක් එන්නෙ ඇයි?
දෙමළ සිනමාව අපට විතරක් අයිති නෑ. ලෝකයේම දෙමළ භාෂා චිත්‍රපට නිර්මාණය වෙනවා. මේ කෘතියේ තිබෙන්නේ ඒ පුළුල් සිනමා අවකාශයට එකතු වන ලාංකේය ආඛ්‍යානය ගැන. ලෝක සිනමාව තුළ විවිධ භාෂා ඇතුළත් වෙනවා. එය හුදෙක් භාෂාවට එහා ගිය, සංඥා හා සංකේත අන්තර්ගත සංස්කෘතික ප්රවේශයන් ලෙසත් වෙන් වෙනවා. ඒ කොහොම වුණත් සිනමාව වෙන් කිරීම එතරම් සාධාරණ නැහැ කියලයි මට හිතෙන්නෙ. ඒත් සරල ලෙස වෙන් කරන්න පුළුවන් එක් ටූල් එකක් තමයි භාෂාව. ඒ විදිහට සිනමාව කියන පොදු විෂය තුළ දෙමළ සිනමාව නැතිනම් දෙමළ භාෂා සිනමාව වර්ග වෙනවා. මේ කෘතියේ සටහන් වී තිබෙන්නේ ලංකාවේ බිහි වූ සහ ලාංකිකයන් විසින් නිර්මාණය කරන ලද දෙමළ භාෂිත සිනමාව පිළිබඳවයි. ඒ නිසා ඒ නාමකරණය දෙනවා.
මෙම කෘතිය පාඨකයාට වැදගත් වන තැන කොතැනද?
මගේ දැනුම අනුව නම් මේ සම්පූර්ණ කෘතියම පාඨකයාට වැදගත්. මොකද ලංකාවේ දෙමළ චිත්‍රපට බිහි වෙනවාද කියලවත් නොදන්නා පිරිසක් ඉන්නවා. ලංකාවේ දෙමළ සමාජය පවා ඒ ගැන දන්නේ අවම වශයෙන්.
මෙහි එදා සිට සෑම ජනවර්ගයක්ම එක්ව ගොඩනැගූ සිනමා ඉතිහාසයක් ගැන සටහන් වෙනවා. 1967 වසරේ සිට 2018 මාර්තු 27 වන දින තිරගත වූ ‘කෝමාළිකිංග්ස්’ වෘත්තාන්ත චිත්‍රපටය දක්වා වාලාකුළුවලින් නොපෙනී තිබෙන ලාංකිකයන්ගේම සිනමා උත්සාහයන් මෙහි සඳහන් වෙනවා. ඒ වගේම දවා අළු කළ ඉතිහාසයේ ඉතිරි කොටස් ගැන හා ඉතිරි නොවූ කොටස් ගැනත් මෙහි ඇතුළත් වෙනවා.
ඒ වගේම විවිධ කාල පරිචඡේදයන්හි සිනමාවේ නියැළුණු චරිත ගැනත් මේ පොත ඇතුළේ කතා කරනවා. විටෙක අධික වූ සතුටකිනුත් තවත් විටෙක ඒ මතකයන් පවසද්දී දරාගත නොහැකි වේදනාවකිනුත් ඒවා සටහන් වෙනවා. ඒ වගේම වර්තමානයේ සිනමා ව්‍යායාමයන් ගැනත් සඳහන් වෙනවා. ලංකාවේ දෙමළ සිනමා ඉතිහාසය සොයායන්නෙකුට මෙම කෘතිය පාර කියන්නක් වෙයි කියල මම හිතනවා.
ඔබ සාහිත්‍ය කෘති පරිවර්තිකාවක ලෙසත් කටයුතු කරනවා?
මට මෙතෙක් කළ හැකිව තිබුණේ ‘ඉප්පඩිඔරුකාලම්’ කෘතිය ‘මතක වන්නිය’ ලෙස ඉතිහාසගත කිරීමටත්, ‘තාරා මගේ දෙවඟන’ නවකතාව ‘තාරා ශාමලී කුමාරස්සාමි’ ලෙස ඉතිහාසයට එකතු කිරීමටත් පමණයි. මේ දවස්වල මම ‘ඌළික්කාලම්’ නවකතාව සිංහලට පරිවර්තනය කරමින් ඉන්නවා. ඒවගේම දෙමළ භාෂාවෙන් ලියවුණු කවි සමූහයකුත් සිංහල බසට පරිවර්තනය කරමින් ඉන්නවා. ඉදිරියේදී එ්වා කෘති දෙකක් ලෙස එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා..
මා එයින් බලාපොරොත්තු වෙන්නේ හුදෙක් අදහස් හුවමාරුවකට එහා ගිය සුළු හෝ ආකල්පමය දියුණුවක් ඇති කරන්නයි. එය සිදු වේදැයි මම දන්නෙ නැහැ. ඒත් ඒ දේ වෙනුවෙන් මම උත්සාහ කරනවා. මට හැකි දේ මම කරනවා.
[ගගන් වර්ණජිත්]
උපුටා ගැනීම – රැස පුවත්පත