ජපානයේ Henn na රොබෝ හෝටලයට යමුද??
Related Articles
රොබෝ තාක්ෂණය අතින් ගත් කල ලොව ඉදිරියෙන්ම සිටින්නේ ජපානය යි. ඒ බව වඩාත් සනාථ කරමින් ඔවුන් රොබෝ හෝටල් ජාලයේ දෙවැනි හෝටලය ජපානයේ ටෝකියෝ නගරයේ ‘උරයසු‘ හි ඩිස්නි උද්‍යානය අසල විවෘත කරනු ලැබුවා.
Henn na Hotel නමින් හැඳින්වෙන මෙහි ‘හෙන් නා’ යන නාමයෙහි අර්ථය ‘ආගන්තුක’ එසේත් නැතිනම් ‘අමුතු’ වැනි අර්ථයකි. එහෙත් එවැනි අර්ථයක් මෙහි නමට ලබා දුන්නත් මෙම හෝටල් ජාලයේ අයිතිකරු වන H.I.S. සංචාරක ඒජන්සියෙහි නිර්මාතෘ හා සභාපති වන හිඩියෝ සවාඩා පවසන්නේ මෙම හෝටල් ජාලයේ අරමුණ නම් අමුතු හෝටලයක් වීම නොව පරිණාමය වන හෝටලයක් වීම බවයි.
පාරිභෝගිකයකු හෝටලය තුළට පැමිණි පසුව ඔහුව පිළිගැනීමට රොබෝවරයකු සිටින අතර ඔහුට අවශ්‍ය කාමරය ලබාගැනීමට සහාය වීම සඳහා පිළිගැනීමේ මේසයේ රොබෝවරු දෙදෙනෙකි. එසේම පාරිභෝගිකයාගේ ගමන් මලු වැනි දෑ ගබඩා කිරීමට විශාල රොබෝ හස්තයක් තිබෙනවා. ඔබ මෙහි නවාතැන් ගැනීමට පැමිණෙන්නේ නම් මුලින්ම කළ යුත්තේ පිළිගැනීමේ කවුන්ටරය අසල ඇති පරිගණක තිරයේ අවශ්‍ය දත්ත ඇතුළත් කිරීමයි.
ඔබගේ තොරතුරු ඇතුළත් කර කාමරයක් ලබාගත් පසු ඔබගේ ගමන් මලු රැගෙන ඔබට කාමරයට යෑමට මග පෙන්වනු ලබන්නේ රොබෝ පෝටර්වරයකුයි. මෙසේ ගමන් කරන අතරතුර එම රොබෝ යන්ත්‍රයේ තිබෙන තිරයක් මගින් ඔබට හෝටලය අවට තිබෙනා වැදගත් සිදුවීම් හා උත්සව පිළිබඳව තොරතුරු පෙන්වයි.
කාමරය තුළත් බිත්තරයක් හැඩැති හෝ කුඩා සෙල්ලම් බෝනික්කෙක් වැනි රොබෝවරයකු ඔබට කාලගුණය, හෝටලයේ උදෑසන ආහාර මෙනුව, කාමරයේ විදුලි බුබුළු හා අනෙකුත් උපාංග ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියා රැසකට ඔබට සහය දක්වනවා.
මීට අමතරව කාමර වෙත විවිධ ද්‍රව්‍ය රැගෙන යෑම සඳහා රොබෝවරුන් සිටින අතර ජනේල හා හෝටල් බිම පිරිසුදු කරන්නේත් රොබෝවරු මගිනි. මෙම හෝටලයේ මාළු ටැංකිවල පවා දැකිය හැකි වන්නේ රොබෝ මාළුන් වන අතර හෝටලය තුළ ඇවිද යන විට ඔබට ආචාරශීලී ලෙස ඇමතුමකින් සංග්‍රහ කිරීමටද රොබෝවරුන් මෙහි සේවය කරනවා.
මෙම හෝටලයේ සිදු කරන ක්‍රියාවලින් සියයට 90ක් පමණ රොබෝවරු විසින් සිදු කරන අතර මිනිසුන් කිහිප දෙනකු සූදානමින් සිටින්නේ හදිසි අවස්ථාවකදී සේවය කිරීමටයි. මෙම හෝටල් ජාලයේ අරමුණ එලෙසම ඉටු කරමින් තවත් අලුත් අංගයක් මෙම හෝටලයට එක් වීමට නියමිතයි.
ඒ තමයි හෝටලය අවට තිබෙනා ආපනශාලාවලින් ඇණවුම් කරන ලද ආහාර ඩ්‍රෝන තාක්ෂණය මඟින් ඔබ වෙත ගෙනැවිත් දීමේ පහසුකමයි. ඉදිරි වසර පහ තුළදී ලොව පුරා තවත් මෙවැනි රොබෝ හෝටල් 100ක් විවෘත කරන බව මෙහි නිර්මාතෘ පැවසූවේ අලුත් හෝටලයේ විවෘත කිරීමේ උත්සවය අතරතුර දීයි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment