Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරන් වූ සාහිත්‍ය කෙත අස්වද්දන්නට නම්…

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 16:25

පුරන් වූ සාහිත්‍ය කෙත අස්වද්දන්නට නම්…

සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. මේ කාලවකවානුව ආසන්නයේ එළැඹෙන්නේ ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට ද සුබපල ගෙන දෙන, තම සිහින සැබෑ කර දෙන කාලයයි. සාහිත්‍ය රසවින්දනය යනු කුමක්දැයි නිර්වචනය කිරීම සාපේක්‍ෂ වන අතර සාහිත්‍ය යනු මේ යැයි සමාජය විසින් සකසා ගත් යම් යම් නිර්නායක තිබේ. ඒ අනුව යම් සමාජ ව්‍යූහයක සදාචාරාත්මක අගයන් ගෙන එන්නට සමත් වනුයේ එකී සමාජය තුළ සාහිත්‍ය විසින් බිහි කරනු ලබන ගුණ වගාවයි.

මිනිසා නිසගයෙන්ම රසකාමී ය. එම රසවින්දනය නිසි අයුරින් සමාජය තුළ වර්ධනය කිරීම එකී සමාජයේම වගකීම වෙයි.

මෙහි දී අධ්‍යාපනය මූලික තැනක් ගන්නා අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය ද ඒ හා සමාන වගකීමක් දැරිය යුතු වෙයි. කෙටියෙන් කියන්නේ නම් රාජ්‍යයේ පටන් සියලු පුද්ගලයින් කෙරෙහි මෙම වගකීම පැවරෙයි. ඉන් මඟ හැර යාමට අප කිසිවකුට අයිතියක් නැත. මේවා නිරන්තරයෙන් කතාබහට ලක් වනු විනා, ක්‍රියාත්මක නොවන බවත් සැබෑවකි.

ලෝක සාහිත්‍ය වනාහී මිනිසා සහ සමාජය සසල කරමින්, රසවින්දනය කලතා, බුද්ධිය සොළවා, සමාජයට පෙරගමන්කරුවකු වන ඉතාම අග්‍රගන්‍ය කෘති ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වන අවස්ථාවයි. ටෝල්ස්ටෝයි, මාර්කේස් හෝ පාවුලෝ කොයියෝ ගැන නොදන්නා කෙනෙක් වෙත් ද? නැතහොත් මැක්සිම් ගෝර්කි විසින් නිර්මාණය කළ “අම්මා” හෝ චිංගීස් ආයිත්මාතව් නිර්මාණය කළ “දුයිෂෙන්” නොහඳුනන කෙනෙක් වෙත් ද? මේවා මෙතරම්ම හරවත් සහ ප්‍රතිභාසම්පන්න නිර්මාණ වනුයේ ඇයි? එම කෘති සමාජයට දුන් දේ මොනවාද? එම පරමාදර්ශ සමාජය කොයිබට ගෙන ගියේ ද? “යුද්ධය සහ සාමය” සමාජයට පෙන්වා දුන්නේ කුමක් ද? “නොරිකො සන් සහ දෙවෝන්දරා සන්” අප සිත් හි ඇති කළ ප්‍රේමය කෙතරම් ද?

වර්තමානය තුළ නිර්මාණය සහ නිර්මාණකරුවා යනු අංග දෙකක් බව මේ වන විට සමාජය විසින් සනාථ කර හමාර ය. නිර්මාණයත්, නිර්මාණකරුවාත් එක්තැන් වූ විට, නැතහොත් නිර්මාණයට නිර්මාණකරුවා අවංක වූ විට වඩාත් අගනා නිර්මාණයක් නිතැතින්ම බිහි වෙයි. එවන් නිර්මාණ එම සමාජය පුරා දිදුලමින් ව්‍යාප්ත වෙයි.

ශ්‍රී ලාංකීය සාහිත්‍ය තුළ ද ඩබ්.ඒ සිල්වා, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, සරච්චන්ද්‍ර වැනි ගත්කතුවරුනගේ ප්‍රබන්ධ සහ ඒවායේ භාෂා ශෛලිය පාඨකයා ඉතා ඉහළ මානයකට ගෙන යයි. ඔහුගේ රසවින්දනය සහ දැනුම ද පුබුදු කර කියවන්නා තුළ හිතන්නට යමක් ඉතුරු කරයි. ස්වඅනන්‍යතාව රැක ගනිමින් ඔවූහූ සමාජයට ඉතුරු කළ දෑ බොහෝ ය. මේවා ගිණිය හැක්කේ අතළොස්සක් වන අගනා නිර්මාණ ගොඩට ය.

දැන් දැන් සෑම වසරකම පාහේ පවත්වනු ලබන සාහිත්‍ය සම්මාන උළෙල කිහිපයකි. එහෙත් ඒවා නිර්මාණකරණයට අත්වැලක් වනුයේ නිසි ඇගයීමක් අදාළ නිර්මාණවලට ලැබෙන්නේ නම් පමණි. කෙසේ වුව ද සම්මාන උළෙල අරමුණු කරගෙන නිර්මාණ බිහි වීමත්, වාර්ෂික පොත් ප්‍රදර්ශනය අරමුණු කරගෙන ග්‍රන්ථ මුද්‍රණය කිරීමත් සුලබ කාරණයක්. වාර්ෂික පොත් ප්‍රදර්ශනය ආසන්නයේ මුද්‍රණාල ඉතා කාර්යබහුල වනුයේ අවසන් මොහොතේ දී හෝ පොත මුද්‍රණය කරවා ගැනීමට සියල්ලන් වෙහෙසෙන බැවිනි. එහිදී අදාළ ග්‍රන්ථයේ උසස්බව ගැන විවිධ මතයන්ට එළැඹිය හැකිය. මන්ද යත් සිත වෙහෙසවා, බලයෙන් සිතුවිළි උලුප්පා ගැනීමෙන් සාර්ථක නිර්මාණයක් බිහි වීමට ඇති ඉඩකඩ අඩු බැවිනි. හදිසියේ නිර්මාණ කිරීමෙන් යම් නිර්මාණයක් බිහි වුව ද, එය ඉතා හොඳ නිර්මාණයක් වීමේ ඉඩකඩ අඩු විය හැකිය.

ඊළඟ සම්මාන උළෙල තෝරා ගනු ලබන්නේ ද එලෙස කඩිමුඩියේ එළිදැක්වූ, එක හුස්මට ලියා ගෙන ගියා වූ ග්‍රන්ථ ය. බොහෝ විට මේවායේ සෝදුපත් බැලීමවත් නිසි අයුරින් නොකළ බව පාඨකයාට වැටහෙයි. පසුගිය වසර කිහිපයක් පුරා මෙම සම්මාන උළෙල දැඩි විවේචනයට ලක්වනුයේ තෝරා ගනු ලබන කෘති උසස් තත්ත්වයේ කෘති නොවන බව පාඨකයාට ඒත්තු යාම නිසා ය. විනිසුරු මඩුල්ලේ රස වින්දනය, පාඨකයාගේ රසවින්දනය අභිබවා නොයන නිසාවෙනි. හේතුව, පෞද්ගලික සම්බන්ධතා මත හෝ, තෝරා ගැනීමට සුදුසු කෘතියක් නොමැති වීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා කිසියම් කෘතියක් තෝරා සම්මාන පිරිනැමීමේ අභාග්‍යසම්පන්න සමයකට අප ගොදුරු වී සිටීමයි. මෙය සමාජය තුළ තව දුරටත් කතා බහට ලක් විය යුතු, අවධානයට ලක් විය යුත්තකි. මෙය පැසුණු බුද්ධියක් ඇතියවුන්ගේ සමාජ මෙහෙවරකි. පිරිහෙමින් පවතින සාහිත්‍යය නැවත නඟා සිටුවීමට බුද්ධිමත්හු පියවර නොගන්නේ නම්, අප සමාජය තව තවත් අගාධයටම තල්ලු වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි ය. හෙට උපදින තාරුණ්‍යය, එලෙස වැපුරූ බොල් වී යේ අස්වැන්න වනු ඇත.

එමෙන්ම මෙවැනි සම්මාන උළෙල සඳහා නිර්දේශ වන ග්‍රන්ථ සුදුසු නොවන්නේ නම් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට තරම් හැකියාවක් තෝරා පත් කර ගනු ලබන විනිසුරු මඩුල්ලට තිබිය යුතුය. සම්මාන තිළිණ කරනු ලබන්නේ කුමන සාධක මත දැයි සකසා ගත් ක්‍රියාදාමයන් ඇති විය යුතුය. එම නිර්නාකයන්ට අදාළ නොවන්නේ නම් සියලුම කෘති වුවද ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ශක්‍යතාවක් විනිසුරු මඩුල්ලට තිබිය යුතුම ය. සමහර විට එම වසර තුළ කිසිදු ග්‍රන්ථයක් සම්මානයට පාත්‍ර නොවන්නට පුළුවන. එහෙත් නුසුදුසු කෘති සම්මාන සඳහා නිර්දේශ කරමින් සාහිත්‍යය විනාශ කර දමනවා වෙනුවට ඊළඟ වසර තුළ වඩාත් සාර්ථක නිර්මාණ බිහි වීමට එය හේතුවක් වීම මුළුමහත් සමාජයටම ඵලදායී වනු ඇත. සම්මාන ලබා දෙනුයේ කුමන කරුණු අන්තර්ගත වීම තුළ දැයි ලේඛකයා දැනුවත් වීම තුළ ඉන් ඔහු අධෛර්යයට පත් වීමක් ද නොවනු ඇත.

එමෙන්ම බොහොමයක් හරසුන් නිර්මාණ අතර නවකතාව ද, කෙටි කතාව ද, කවිය ද පෝෂණය කළ සහ කරන්නා වූ ප්‍රවීන සහ ආධුනික නිර්මාණකරුවෝ වෙති. ඔවූහු නිහඬව තම කාර්යයන්හි නියැලී සිටීම ද දකින්නට හැකිය. එහෙත් ඒවා නිසි ඇගයීමකට හසු නොවන බව ද සැබෑවකි. සාහිත කෙත වල් බිහි වී ඇතැයි හෝ පුරන් වී ඇතැයි චෝදනා නඟනවාට වඩා කළ යුතු වන්නේ මෙම සම්මාන උළෙල සංවිධානය කරන අනුග්‍රාහකයන්, ප්‍රබුද්ධයන් හා එක්ව සම්මත කර ගත හැකි නිර්නායක සැකසීමයි. එවිට සම්මානයක වටිනාකම ද, කෘතියෙහි වටිනාකම ද රැකෙනු ඇත.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 16:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්