හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට පෙර ඔහු පැහැරගෙන යාම සදහා සිරිලිය සවිය සංවිධානයට 2011 වසරේ ලබාදුන් ඩිපෙන්ඩර් ජීප් රථයක් යොදාගෙන ඇති බවට විශ්වාසදායක තොරතුරක් ලැබී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේ දීයි මේ බව දැනුම් දුන්නේ. ඝාතනය සිදුවූ දින අලුයම අරලියගහ මන්දිරයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටවූ වාහන තුනක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා සදහන් කළේ.
මේ අතර ඝාතනයට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන්කර අධිකරණයට වාර්තා කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. පරීක්ෂණවලට අදාළව මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂාව සැළසූ නාවික හමුදා නිලධාරීන් භාවිත කළ තොරතුරු සටහන් පොත් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. නඩුව නොවැම්බර් 29 යළි කැදවීමට නියමිතයි.