Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙල් මිල ගැන ඇත්ත නැත්ත

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 18:25

තෙල් මිල ගැන ඇත්ත නැත්ත

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉන්දියාවේ තෙල් මිල දිනපතා වෙනස් වනවා. එහෙත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි 2015 වසරට සාපේක්ෂව මෙරට තෙල් මිල තවමත් පවතින්නේ ඉතා පහළ අගයක බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා.

2015 වසරේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පැවතියේ ඇමරිකා ඩොලර් 49.49 ක් ලෙසයි. එය මේ වන විට ඇමරිකා ඩොලර් 79.74 ක්. ඒ අනුව පසුගිය අවුරුදු තුනේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 30.25 කින් වැඩි වී තිබෙනවා. ලෝකය පුරා තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යාම ඊට හේතුවයි.

ඉන්දීය රජය පසුගිය වසරේ ජුනි 16 වනදා සිට තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. ඒ අනුව දිනපතා උදෑසන 6 ට ඉන්දියාවේ තෙල් මිල වෙනස් වීම සිදු වනවා. පසුගිය සතියේදී එරට ප්‍රාන්ත තුනක ජනතාව තෙල් මිල ඉහළ යෑමට එරෙහිව ප්‍රබල විරෝධතා දැක්වූවා. එහෙත් මධ්‍යම ආණ්ඩුව අවධාරණය කළේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව සිදු වන මිල වෙනස්වීම් වලට බලපෑම් කළ නොහැකි බවයි. එසේ වුවහොත් රටේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්වන බව ද ඉන්දීය ආණ්ඩුව පෙන්වා දී තිබුණා.

එහෙත් මෙරට වර්තමාන ආණ්ඩුව තවමත් ජනතාවගේ පැත්තේ සිට තෙල් මිල අවමයෙන් ඉහළ දැමීමට කටයුතු කරමින් සිටිනවා. 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව බලයට පත්වන විට පෙට්‍රල් – 92 කාණ්ඩයේ ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 150ක් ලෙසයි. පසුගිය වසර තුනේදී බොරතෙල් බැරලයක මිල සියයට 40ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබියදීත්, තවමත් පෙට්‍රල් 92 කාණ්ඩයේ ලීටරයක මිල රුපියල් 149 ක් වනවා. පෙට්‍රල් 95 කාණ්ඩයේ ලීටරයක මිල රුපියල් 158 සිට 161 දක්වා රුපියල් තුනකින් පමණක් ඉහළ ගොස් තිබෙනවා. ඩීසල් ලීටරයක මිල වැඩි වී ඇත්තේ රුපියල් 111 සිට 123 දක්වා රුපියල් 12 කින් පමණයි. යහපාලන රජය පත්වන විට රුපියල් 81ක්ව පැවති භූමිතෙල් ලීටරයක වර්තමාන මිල රුපියල් 70 ක් වනවා. දේශපාලන අරමුණු මත කවුරුන් කෙසේ කීවත් ලෝක වෙළෙඳපොළ සමග ගැටෙමින් ජනතාවට සහන දෙන්නට ආණ්ඩුව තවදුරටත් උත්සාහ දරමින් සිටින බව පැහැදිලියි. ඉන්දියාව වැනි ආර්ථික බලයෙන් ශක්තිමත් රටවල් පවා ඒ සටන අත්හැර දමා තිබෙනවා. පසුගිය ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් මත අය කළ රුපියල් 35ක තීරු බද්ද මේ ආණ්ඩුව රුපියල් 12 දක්වා අඩු කර තිබෙනවා. ඩීසල් ලීටරයක් මත පසුගිය ආණ්ඩුව රුපියල් 15ක තීරු බද්දක් අය කළා. එය මේ වන විට රුපියල් 4 ක් පමණයි.

පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන්ට කොමිස් ලබාගැනීම සඳහාම අත්සන් කළ හෙජින් ගිවිසුම් නිසා රුපියල් බිලියන 10.2ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අහිමි වුණා. 2016 අගෝස්තු 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙන් ඒ බව තහවුරු කර තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ වර්තමාන ආණ්ඩුව තවදුරටත් ලෝක වෙළෙඳපොළ සමග සටන් කරමින් තෙල් මිල අවම අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු කරුණක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 18:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්